රජයේ ප්‍රමුඛ ව්‍යාපෘති සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට කටයුතු කරන බව ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්ටින් රේසර්) මහතා පවසනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ලෝක බැංකු නියෝජිතයන් අතර ජනාධිපති කාර්යාලයේ අද පැවති හමුවේදී ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්ටින් රේසර් මහතා මේ බව කියා සිටියා
තරුණ තරුණියන්ට රැකියා උත්පාදනය කිරීමේ වැඩසටහන, ක්ලීන් ශ්‍රී ලංකා, ග්‍රාමීය දිළිඳුබව තුරන් කිරීම, හා ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ලෝක බැංකුවේ මූල්‍ය සහ තාක්ෂණික ආධාර ලබාදීමට මෙහිදී එකඟතාව පළකර තිබෙනවා.
ඒ අනුව අධ්‍යාපන, බලශක්ති, ඩිජිටල්කරණ හා උතුරු සංවර්ධනය සඳහා වූ නව ව්‍යාපෘති සඳහා ආධාර ලබාදීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇති බව සදහන්.
ලෝක බැංකුව මඟින් ශ්‍රී ලංකාවට ලබාදීමට අනුමත ණය ආධාර නියමිත දිනට ලබාදීමට කටයුතු කරන බවද මාර්ටින් රේසර් මහතා සඳහන් කර තිබෙනවා.
මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ අධ්‍යාපන ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමෙන් ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමට හැකි බවය.
ඒ සඳහා නව රජය ආරම්භ කර තිබෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහාද, පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයෙහි සංවර්ධනය සඳහාද අවශ්‍ය ආධාර ලබාදෙන ලෙස ජනාධිපතිවරයා මෙහිදී ලෝක බැංකු නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියා.
ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් 28%ක් කෘෂිකාර්මික ක්ෂේත්‍රය නියෝජනය කළත්, ශ්‍රී ලංකා ආර්ථිකයට කෘෂිකාර්මික ක්ෂේත්‍රයෙන් ලබාදෙන දායකත්වය දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් පමණක් වීම ප්‍රමාණවත් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ජන ඝනත්වය අනුව ජනතාවට අවශ්‍ය පහසුකම් ලබාදීමට නව රජය ගෙන යන වැඩපිළිවෙළ මෙහිදී ජනාධිපතිවරයා විසින් ලෝක බැංකු නියෝජිතයින්ට පැහැදිලි කළා.