විදේශ රැකියා ජාවාරම් සම්බන්ධයෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයට ලද පැමිණිලි අනුව ඊයේ දින පමණක් විදේශ රැකියා වංචාකරුවන් සිව් දෙනෙකු විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කැනඩාවේ සාත්තු සේවා රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින් අට දෙනෙකුගෙන් රුපියල් එක් කෝටි විසි අට ලක්ෂයක මුදලක් වංචාකළ පුද්ගලයෙකු ඊයේ දින මහරගම ප්‍රදේශයේදී කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවයි සඳහන් වන්නේ.
සැකකරු YR Immigration නමින් ජාත්‍යන්තර උපදේශන ආයතනයක් ගම්පහ වෝට්සිටි ප්‍රදේශයේ පවත්වාගෙන ගොස් ඇති අතර, එමගින් උපදේශන වැඩසටහන් සංවිධානය කරමින් විදේශ රැකියා සඳහා තරුණ තරුණයින් බඳවාගෙන තිබෙනවා.
කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා ලබාදීම සඳහා මුදල් ලබාගැනීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකරු අද දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 5 බැගින් ශරීර ඇප 2ක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
මේ අතර, ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ගෙන් රුපියල් ලක්ෂ 20ක මුදලක් වංචාකළ සැකකරුවෙකු විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් ඊයේ දින කොට්ටාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු විදේශ රැකියා ආයතනවල කාර්මික පුහුණු උපදේශකවරයෙකු ලෙස කටයුතු කර ඇති අතර, එම ආයතනයට පැමිණෙන තරුණ තරුණියන් රවටා ඉක්මණින් ඊශ්‍රායලය වෙත යොමු කළ හැකි බව පවසා මුදල් ලබාගෙන ඇති බවයි සඳහන් වන්නේ.













