2012.01.24 වැනිදා බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළදී නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වෙමින් එහි දේපළවලට රුපියල් ලක්ෂ 52කට අධික අනර්ථයක් සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ පවරා තිබූ නඩුවේ විත්තිකරුවන් 20ක් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට ඊයේ (31දා) වරෙන්තු නිකුත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා ඔවුන්ගේ ඇපකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කළේය.
එකී චෝදනාව ඇතුළු චෝදනාවලට සිය නීතිඥවරුන් මාර්ගයෙන් වරද පිළිගත් විත්තිකරුවන් 43 දෙනකු අතරින් මෙම නඩුව සම්බන්ධයෙන් පමණක් චෝදනා එල්ල වී තිබූ විත්තිකරුවන් 24 දෙනකු පෙර ඇප මත මුදාහැරීමට මහාධිකරණ විනිසුරුවරයා මින්පෙර නියම කොට තිබිණි. කෙසේ නමුත් එලෙස ඇප මත මුදාහැරි පිරිස අතරින් 20 දෙනකු කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අධිකරණය හමුවේ පෙනී නොසිටීම හා ඔවුන්ගේ ඇපකරුවන් ද අධිකරණය හමුවේ පෙනී නොසිටීම කෙරෙහි අවධානය යොමු කළ විනිසුරුවරයා එම වරෙන්තු නිකුත් කළේය. තවත් විත්තිකරුවන් කීපදෙනකු අධිකරණය හමුවේ පෙනී නොසිටි නමුත් ඔවුන්ගේ ඇපකරුවන් අධිකරණය හමුවේ පෙනී සිට ඔවුන් නොපැමිණි හේතු දැක්වීම අනුව ඔවුන්ට වරෙන්තු නිකුත් කිරීමක් නොකළේය.
එම නඩුව ලබන 27 වැනිදා යළි කැඳවීමට දින නියම කළ විනිසුරුවරයා එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින විත්තිකරුවන් අතරින් වරද පිළිගෙන නඩුව අවසන් කිරීමට සූදානම් විත්තිකරුවන් සම්බන්ධයෙන් සුදුසු නියෝග ලබාදී නඩු අවසන් කිරීමට නියෝග කිරීමට පියවර ගන්නා බව ද පැවසීය.