අධිකරණ සේවා කොමිසමේ ලේකම් ප්‍රසන්න අල්විස්ගේ මහතාගේ අත්සනින්, සියලු අධිකරණ නිලධාරීන් වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
ඇතැම් මහේස්ත්‍රාත්වරුන්ගේ නියෝග මත, සැකකරුවන් හෝ සිරකරුවන් විශේෂ ස්ථානවල රඳවා ඇති බවට ලැබුණු පැමිණිලි සැළකිල්ලට ගෙන අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මහේස්ත්‍රාත්වරුන් විසින් යම් සැකකරුවෙකු හෝ සිරකරුවෙකු විශේෂ බන්ධනාගාරයක රඳවා තබන ලෙස නියෝග කිරීම නොකළ යුතු බව අධිකරණ සේවා කොමිෂන් සභාව දැනුම් දැනුම්දෙනවා.
එමෙන්ම යම් සැකකරුවෙකු හෝ සිරකරුවෙකුට විශේෂ ආරක්ෂාව ලබා දෙන ලෙස ද නියෝග නොකළ යුතු බවද අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කර සිටිනවා.
රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති සැකකරුවන් සහ සිර දඬුවම් විඳින සිරකරුවන් සම්බන්ධයෙන් විශේෂ අවස්ථානුගත කරුණු යටතේ අධිකරණ නියෝග නිකුත් කිරීමේදී මහේස්ත්‍රාත්වරුන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබෙනවා.
මහේස්ත්‍රාත්වරුන් විසින් කිසිඳු සැකකරුවෙකු හෝ සිරකරුවෙකු බන්ධනාගාර ගතව සිටින කාලය තුළ ඔවුන්ගේ පවුල්වල විශේෂ අවස්ථාවන්ට සහභාගී වීමට හෝ වෙනත් කටයුත්තකට බන්ධනාගාරය මගින් ඔවුන්ගේ නිවෙස්වලට හෝ වෙනත් ස්ථානයකට රැගෙන යන ලෙස නියෝග නිකුත් නොකළ යුතු බව ද එම චක්‍රලේඛයේ සඳහන්.
සමීප ලේ ඥාතීන්ගේ අවමගුල් අවස්ථාවන්වලදී ද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නියෝග හා රෙගුලාසිවලට අනුව එම සැකකරුවන් හා සිරකරුවන් අවශ්‍ය ස්ථානවලට රැගෙනයාම බන්ධනාගාර අධිකාරීවරයාගේ මෙහෙයවීම මත සිදු කළ යුතු වනවා.