මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් කටයුතු හෙට නිල වශයෙන් නැවත ආරම්භ කිරීමට නියමිතයි.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
එහිදී කඩවත හුවමාරු මධ්‍යස්ථානය සහ අධිවේගී මාර්ගයේ පළමු මීටර් 500ක කොටසෙහි ඉදිකිරීම් ද ආරම්භ කෙරෙනු ඇති.
මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 8යි දශම 6ක මුදලක් රජය විසින් වෙන්කර තිබෙනවා.
ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම මාර්ගය සඳහා වෙන් කර තිබූ ණය පහසුකම් අත්හිටුවීම නිසා මෙම කොටසේ ඉදිකිරීම් 2022 මැද භාගයේදී අත්හිටුවන ලැබුවා.
මෙම ව්‍යාපෘතිය 2028 වසරේ මැද භාගය වන විට සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට නියමිතයි.