සති අන්ත දීර්ඝ නිවාඩුවට විවිධ මත්ද්‍රව්‍ය රැගෙන නුවරඑළියට පැමිණි 31 දෙනෙක් සැකපිට ඊයේ(18) සහ අද(19) යන දෙදින තුළ අත්අඩංගුවට ගත් බව නුවරඑළිය මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එස්.සී. සංජීව මහතා පවසනවා.
නුවරඑළිය ග්‍රෙගරිවැවේ හතරවන වාහන පර්යන්තයේ ඊයේ(18) දින පැවැත්වූ සාදයක් සඳහා මුහුණු පොත ඔස්සේ හඳුනාගත් පිරිසක්ද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බවයි නුවරඑළිය මූලස්ථානය පොලිසියේ ප්‍රදාන පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙමටගොඩ, ගම්පහ, කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි වයස අවුරුදු 18ත් 35ත් අතර වයස් කාණ්ඩවල පසුවන අය වනවා.
එම පිරිස සනත්කයේ තිබී ගංජා, හෑෂ්, කුෂ්, මත් මුද්දර, කොකේන්, හශීෂ්, ගංජා මිශ්‍ර දුම්කොළ, මත් පෙති සහ තීරු බදු නොගෙවා මෙරටට ආනයනය කරන ලද දුම්වැටි සොයා ගත් බවයි නුවරඑළිය මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේ.
නුවරඑළියට පිවිසෙන මාර්ග සියල්ලමක් ආවරණය වන පරිදි නුවරඑළිය කොට්ඨාස පොලිස් සුනඛ අංශයේද සහයෝගය ලබාගෙන නුවරඑළිය කොට්ඨාස දූෂන මර්ධන ඒකකයේ නිලධාරීන් සහ නුවරඑළිය පොලිසියේ නිලධාරීන් එක්ව පොලිස් මාර්ග බාධක යොදා සැකකරුවන් 31 දෙනා අත්අඩංගුවට ගත් බවත් එම සැකකරුවන් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.
සති අන්ත දීර්ඝ නිවාඩුව සහ දීපාවලී උත්සව සමය හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට දේශීය සංචාරකයන් විශාල පිරිසක් නුවරඑළියට පැමිණ සිටින බවයි නුවරඑළිය සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ නිලධාරියෙකු කියා සිටියේ.