බොරැල්ල, කනත්ත අසලදී ඊයේ සිදු වූ මාරක රිය අනතුරට සම්බන්ධ දොඹකර රථයේ තිරිංග ක්‍රියාත්මක නොවන බව දැන සිටියදීත් රියැදුරු එය ධාවනය කර ඇති බව බොරැල්ල පොලිසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා. එමෙන්ම අනතුර සිදුවීමට පෙර රථය වම් පැත්තට හරවා කනත්ත තුළට රැගෙන ගියේ නම් එම අවාසනාවන්ත සිද්ධිය වළක්වා ගැනීමට හැකිව තිබූ බවත් පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දොඹකර රථයේ රියදුරු ලබන අගෝස්තු මස 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ. දොඹකරයේ හිමිකරු රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරීමටත් අධිකරණය නියම කළා. මෙම මාරක රිය අනතුර හේතුවෙන් පුද්ගලයකු මිය ගොස් තවත් පුද්ගලයින් හත් දෙනෙකු බරපතල තුවාල ලැබූ බව ද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. මීට අමතරව යතුරුපැදි හයකට සහ මෝටර් රථ දෙකකට හානි සිදු වූ බවද පොලිසිය එහිදී දැනුම් දී තිබුණා.
තුවාල ලබා සිටින පිරිස් අතර පොලිස් නිලධාරින් දෙදෙනෙකු සහ අල්ලස් කොමිසමට අනුයුක්ත පොලීස් නිලධාරියකු ද සිටිනවා. මෙම රථය පැදවූ රියදුරු ගංජා මත්ද්‍රව්‍ය පානය කර ඇති බවට කොළඹ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ඉදිරිපත් කළ වාර්තාවක සඳහන්ව පවතින බවද පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. එමෙන්ම මෙම රථයේ ඇන්ජිම පණ ගන්වන ස්විචය පමණක් ක්‍රියාත්මකව පැවැති බවත්, ඇන්ජිම අක්‍රීය කරන ස්විචය ක්‍රියාත්මක නොවූ බවත්, විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.