පුත්තලම මහ නගර සභාවේ 2026 අයවැය වැඩි ඡන්දයෙන් පරාජයට පත්ව තිබෙනවා.
ජාතික ජන බලවේගයට බලය හිමි මෙම මහ නගර සභාවේ 2026 වසරේ අයවැය සඳහා පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද හතක් පමණයි.
කෙසේ වෙතත් අයවැයට විපක්ෂව ඡන්ද 12ක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
ඡන්දය විමසම අවස්ථාවේදී එක් සභිකයෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට තිබෙනවා.
ඒ අනුව පුත්තලම මහ නගර සභාවේ මංගල අයවැය වැඩි ඡන්ද පහකින් පරාජයට පත් කිරීමට විපක්ෂය සමත්ව තිබෙනවා.
අයවැය වාර්තාව නගරාධිපති එම්.එෆ්. රින්සාද් අහමඩ් මහතා විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබුවා.
අයවැය පරාජයට පත්වීමෙන් අනතුරුව නගරාධිපතිවරයා විසින් සභාව හෙට දිනය දක්වා කල් තබනු ලැබීමෙන් පසුව සභාවේ කටයුතු අවසන් කරනු ලැබුවා.
එය නගර සභා ආඥා පනතට විරුද්ධ කටයුත්තක් බව සඳහන් කරමින් සහ එය නීති විරෝධී බව සඳහන් කරමින් නගර සභා මන්ත්‍රීවරු 12 දෙනෙක්ගේ අත්සන් සහිතව ලිපියක් මහ නගර සභා ලේකම්වරිය හරහා නගරාධිපතිවරයාට භාරදීමටද කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
පුත්තලම මහ නගර සභා සභිකයන් 19කින් සමන්විත වනවා.
ජාතික ජන බලවේගය නියෝජනය කරමින් සභිකයන් 7 දෙනෙක්ද, සමගි ජන බලවේගය නියෝජනය කරමින් සභිකයන් සිව් දෙනෙක්ද, යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ නියෝජනය කරමින් සභිකයන් තිදෙනෙක්ද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් සභිකයන් තිදෙනෙක්ද එක්සත් ජාතික පක්ෂය සහ ස්වාධීන කණ්ඩායම අංක 01 නියෝජනය කරමින් එක් සභිකයෙකු බැගින්ද සභිකයන් තේරී පත්ව සිටිනවා.













