පිළිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ රෝගියෙකු ප්‍රතිජීවක එන්නතක් ලබාදීමෙන් අනතුරුව මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ 31 හැවිරිදි පුද්ගලයෙක්.
අදාළ පුද්ගලයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ 17 වන වාට්ටුවට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහුට සෙෆියුරොක්සීම් නමැති ප්‍රතිජීවක ඖෂධය ලබා දී ඇති බව සඳහන්.
එන්නත ලබාදීමෙන් අනතුරුව එම පුද්ගලයා මියගොස් තිබෙනවා.
කොළඹ ජාතික රෝහලේ රෝහල් අධ්යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා සඳහන් කලේ මරණය සම්බන්දයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර එහි ප්‍රතිපල මගින් ප්‍රතිජීවක ඖෂධය ලබාදීම හේතුවෙන් එම මරණය සිදුවී ඇත් ද එසේත් නැතිනම් ඊට වෙනත් හේතුවක් බලපා ඇත් ද යන්න පිළිබඳ එහිදී අනාවරණය කරගත හැකි බවයි.
කෙසේවෙතත් මියගිය රෝගියාට ලබාදුන් බව කියන ප්‍රතිජීවක එන්නත් කාණ්ඩය මේ වන විටත් භාවිතයෙන් ඉවත් කර ඇති බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා.