පිලිපීනයේ ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ, ‘කල්මේගි’ සුළි කුණාටුවෙන් පුද්ගලයන් 114 දෙනෙකු මිය ගොස් තවත් සිය ගණනක් අතුරුදන් වීමත් සමගයි.
ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර් විසින් මෙම හදිසි තත්වය ප්‍රකාශයට පත් කර තිබුණා .
මෙය මෙම වසරේදී පිලිපීනයට බලපෑ දරුණුතම ස්වභාවික ව්‍යසනය වනවා.
වාර්තාගත මරණ සංඛ්‍යාවට ප්‍රධාන හේතුව වී ඇත්තේ, හදිසි ගංවතුර තත්ත්වයන්ට හසුවීමයි.
දැනට පුද්ගලයන් 127 දෙනෙකු අතුරුදන්ව සිටින අතර, වැඩිම පිරිසක් අතුරුදන්ව ඇත්තේ දැඩි ලෙස හානි වූ සෙබූ නමැති පලාතෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ .
මෙම නිවර්තන සුළි කුණාටුව පෙරේදා වන විට පිලිපීන දූපත් සමූහයෙන් ඉවතට දකුණු චීන මුහුද දෙසට ගමන් කර තිබෙනවා.
ජනාධිපති මාකෝස් ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ, විපතට පත් වූ තත්ත්වය තක්සේරු කිරීම සඳහා ආපදා ප්‍රතිචාර නිලධාරීන් සමග පැවති හමුවකදීයි.











