ඇල්ල සංචාරක ප්‍රදේශයට සංචාරකයින් රැගෙන එන සහ රැගෙන යාමට පැමිණෙන කුලී රථවලට හා රියදුරන්ට පහරදීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පොලිසිය පවසන්නේ ඇල්ල සංචාරක ප්‍රදේශයේ (Pick Me, Uber) පැමිණෙන කුලී රථ රියදුරන්හට එම ප්‍රදේශයේ කුලී රථ රියදුරන් විසින් තර්ජනය කරන බවට හා පහරදී ඇති බවට ඇල්ල පොලිස් ස්ථානයට පැමිණිලි ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇල්ල පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත බවයි.
එසේම මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ඇල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් දෙදෙනෙක් විසින් පිටතින් පැමිණි කුලී රථ රියදුරෙකු හට ඇල්ල ප්‍රදේශයේ කුලී රථ සේවය සිදු නොකරන ලෙසට ප්‍රකාශ කරනු ලබන වීඩියෝ පටයක්ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බවට දක්නට ලැබෙන බවයි පොලිසිය පවසන්නේ.
මෙම වීඩියෝ පටයට අදාළව පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් පසුගිය 19 වනදා ඇල්ල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ සම්බන්ධව බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියෝග අනුව විමර්ශන සිදු කර මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි බණ්ඩාරවෙල පොලිස් ස්ථානය වෙත මාරු කිරීමට ක්‍රියා කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
එසේම ඊයේ(21) දින ඇල්ල පොලිස් වසමේදී කුලී රථ(Pick Me, Uber) රියදුරෙකුට පහරදීමට තැත් කර ඔහුගේ කාර් රථයට පහරදී අනර්ථය සිදු කිරීම සම්බන්ධයෙන් හා මෙම සේවය සපයන රියදුරු කාන්තාවකට පහරදී මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ූ පැමිණිලි දෙක්කද වාර්තා වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
එම සිද්ධීන් සම්බන්ධයෙන් ඇල්ල පොලිස් ස්ථානය විසින් විමර්ශන ආරම්භ කළ බවද පොලිසිය කියා සිටියා.
විමර්ශනයේදී අනාවරණ කර ගත් තොරතුරු මත කාර් රථයේ රියදුරු පහරදීමට තැත් කිරීම හා කාර් රථයට අනර්ථ කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක්ද අනෙක් කාර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ කාන්තාවට පහරදී මුදල් කොල්ලකෑම සම්බන්ධයෙන් එක් සැකකරුවෙක්ද ඇල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනො අද(22) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බවත් පොලිසිය පවසනවා.













