පාසල් දරුවන්ගෙන් 75%කට තමාගේ ප්‍රශ්න ගැන කතාබහ කරන්නට කිසිවෙකු නොමැති බවත් ඒ නිසා ඉතා බරපතළ මානසික ආතතිය, විෂාදය වැනි තත්ත්වයන් ඇති වන්නට බලපාන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ලක්මිණී මාගොඩරත්න ප්‍රකාශ කළා ය.
කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (අගෝ. 6) පැවති මාධ්‍ය හමුවකදී ඇය එසේ කීවා ය.
සියයට 22.4 දරුවන් තනිකමින් පෙළෙද්දී සියයට 11.9ක් දරුවන් රෑට නිදා ගන්නට නොහැකිව පෙළෙන බවත් ඇය කීවාය.
සියයට 18 පමණ දරුවන් පිරිසක් විෂාදයෙන් පෙළෙන බව කී ඇය දරුවන්ගෙන් සියයට 7.5කට සමීප මිතුරන් නොමැතිව පීඩා විඳින බවද කීවාය.
ලංකාවේ දරුවන්ගෙන් සියයට 25කට තමාට ප්‍රශ්නයක් ඇති වූ විට ප්‍රකාශ කරන්නට කවර හෝ පුද්ගලයෙක් සිටින නමුත් සියයට 75ක් පමණ දරුවන්ට තමාට ප්‍රශ්නයක් අවුලක් සිත් රිදීමක් ඇති වූ විට ඒ දුක කණගාටුව ප්‍රකාශ කරන්නට කිසිවෙකු නොමැති නිසා හුදෙකලා බවට පත්ව සිටින බවද ඇය පැවසුවාය.
වෛද්‍යවරිය සඳහන් කළේ, අතීතයේ ළමයින්ට තිබූ සුන්දර ළමා දිවිය අද නැති වී ඇති බවත් මේ සුන්දර ළමා දිවිය යළිත් මතු පරපුරට ලබා දීමට බුද්ධිමත්ව කටයුතු කර තම පවුලේ සමාජිකයන් සමඟ සුහදව කටයුතු කරන කාලය වැඩි කළ යුතු බවත් ය.
මානසික ආතතිය, විෂාදය වැනි තත්ත්වයන් සඳහා අවශ්‍ය උපකාර ලබා ගැනීමට යොමු කිරීම සහ ආවේගශීලීව ගන්නා අයහපත් තීරණවලින් සිදු වන හානිය වළක්වා ගැනීමට ජනතාව දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය සෞඛ්‍ය ප්‍රවර්ධන අංශය නිරතුරුව ම සේවා සපයන බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා ය.
ඒ අයුරින් රටේ දරුවන් විශාල පිරිසක් මානසික පීඩනයෙන් පෙළෙන බවත් ඇය කීවාය