ඊයේ (22) සවස නාවලපිටිය, ඉඹුල්පිටිය වතුයායේ අතහැර දමා තිබූ පාලු බංගලාවක් තුළදී 39 හැවිරිදි අනියම් බිරිඳගේ ගෙල කපා ඝාතනය කර ඇත.
සැකකරු ගම්පොළ පොලිසියට භාරවී ඇති අතර, පසුව නාවලපිටිය පොලීසිය වෙත වැඩිදුර විමර්ශන සඳහා භාරදී ඇත.
ඝාතනයට ලක්ව ඇත්තේ නාවලපිටිය ඉඹුල්පිටිය වතුයායේ පදිංචිව සිටි යෝග මලර් නැමති තිදරු මවක් වන අතර ඇය සැකකරු සමග ගම්පොළ පුස්සැල්ලාව ප්‍රදේශයේ මාස 09ක පමණ කාලයක් එකට වාසය කර පසුව යළිත් සිය නිත්‍යානුකූල සැමියාගේ නිවසට පැමිණ තිබේ. එහෙත් ඇය වරින්වර සැකකරුට දුරකථන ඇමතුම් ලබාගෙන ඇති අතර, ගෘහසේවය සඳහා විදෙස්ගත වීමට සුදානමින් සිට ඇත.
පොලීසිය සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, විදෙස්ගත වීම සම්බන්ධයෙන් සැකකරුගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබූ බවයි. ඝාතනයට ලක්වූ කාන්තාව විදෙස්ගත වීමට ග්‍රාම සේවක සහතිකයක් ලබාගැනීමට ගිය අවස්ථාවේ දී සැකකරු දුරකථනයෙන් කතා කර පාලු නිවසකට පැමිණෙන ලෙස පවසා ඇති අතර, එහි ගිය පසු කාන්තාවගේ ගෙල කපා ඝාතනය කර ඇත.
මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති බව නාවලපිටිය පොලීසිය පැවසීය.