
දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින පාකිස්ථානය, සිය විදේශ විනිමය තත්ත්වය ස්ථාවර කරගැනීම සඳහා ඩොලර් බිලියන 10 ක හදිසි විනිමය සහන පහසුකමක් ලබාදෙන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙම සහනය හිමිවුවහොත් එය පාකිස්ථාන ආර්ථිකයට ලැබෙන ප්‍රබල අස්වැසිල්ලක් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. පසුගියදා ඇතිවූ ඉරාන අර්බුදයේදී සාම සාකච්ඡා සඳහා මැදිහත්වෙමින් පාකිස්ථානය ඉටුකළ රාජ්‍යතාන්ත්‍රික භූමිකාවත් සමග, වොෂිංටන් පාලනයෙන්
මෙන්ම සුදුසු අනෙකුත් පාර්ශ්වයන්ගෙන්ද යම් ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීමට පාකිස්ථානයට අවස්ථාව හිමිවනු ඇති බව විශ්වාස කළා.
ප්‍රථම වරට අනාවරණය වන මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ ද ඇමෙරිකාව සමග පැවැති අදාළ සාකච්ඡාවලින් අනතුරුවයි. ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සහ පාකිස්ථාන මුදල් අමාත්‍ය මුහම්මද් අවුරංසෙබ් අතර පසුගියදා පැවැති හමුවකදී මෙම ඉල්ලීම ඇතුළත් ලිපිය භාරදී ඇති බවයි වාර්තා වන්නේ . වසර පහක කාලසීමාවකින් ආපසු ගෙවීමේ පදනම මත ඇමෙරිකාව සහ
පාකිස්ථාන රජය අතර ඩොලර් බිලියන 10 ක ද්විපාර්ශ්වික විනිමය ස්ථාවරත්ව සහන පහසුකමක් සපයන ලෙස පාකිස්ථානය එම ලිපිය මගින් ඉල්ලා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුකූලව පාකිස්ථානය දැනටමත් තදබල මූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සිටිනවා. කෙසේ වෙතත්, මෙම ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම ඇමෙරිකානු
භාණ්ඩාගාරය ප්‍රතික්ෂේප කර තිබෙනවා .














