පසුගිය මැයි මස 6 වන දින පැවැති පළාත් පාලන ආයතන ඡන්දයට ඉදිරිපත් වූ සියලුම අපේක්ෂකයන් පක්ෂ ලේකම්වරුන් ස්වාධීන කණ්ඩායම් නායකයන් විසින් අදාළ පළාත් පාලන ආයතනවල තේරීම්භාර නිලධාරීන් වෙත භාරදී ඇති මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා සම්බන්ධයෙන් යම් අයෙකුට පරීක්‍ෂා කර බැලීමට හෝ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසාදී තිබෙනවා.
ඒ අනුව මැතිවරණ ප්‍රචාරණ ආදායම් සහ වියදම් වාර්තාවල සහතික කරන ලද පිටපත් අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ජුනි මස 7 වැනිදා සිට නිරීක්‍ෂණයට අවස්ථාව ලබාදෙන බව මැතිවරණ කොමිසන් සභාව පවසනවා.
සතියේ වැඩ කරන දිනවල උදෑසන 9 සිට සවස 4 දක්වා කාලය තුළදී මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට එම පිටපත් පරීක්ෂාවට ලක් කළ හැකි බවයි එම කොමිසන් සභාව වැඩිදුරටත් පවසන්නේ.
මැතිවරණ කොමිසන් සභාව වැඩිදුරටත් කියා සිටියේ 2023 අංක 3 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ 6 වන වගන්තිය ප්‍රකාරව මෙම මැතිවරණ ප්‍රචාරණ ආදායම් හා වියදම් වාර්තා ඉදිරිපත් කර ඇති බවයි.