පවුල් සෞඛ්‍ය සේවාවේ මේවන විට පැනනැගී ඇති ගැටළු විසඳීම සඳහා විශේෂ තාක්ෂණික කමිටුවක් පත්කිරීමටත්, එම කමිටුව කරුණු අධ්‍යනයකර ලබා දෙන නිර්දේශ, නිර්ණායක මත එම ගැටළු කඩිනමින් විසඳීමට කටයුතු කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අවධාරණය කරනවා.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා මේබව අවධාරණයකර සිටියේපවුල් සෞඛ්‍ය සේවාවේ මේවන විට පැනනැගී ඇති ගැටළු විසඳීමේ අරමුණින් සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ නියෝජිතයන් සමග ඊයේ පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවති විශේෂ සාකච්ඡාවකදීයි.
පවුල් සෞඛ්‍ය සේවා පුහුණුව වසර 3 ක් දක්වා දීර්ඝ කිරීම, පවුල් සෞඛ්‍ය සේවාව ස්වාධීන සේවාවක් බවට පත්කර ගැනීම, පවුල් සෞඛ්‍ය සේවා පුහුණු පාසල් ස්ථාපිත කිරීම, අතිකාල සේවා දීමනා මෙන්ම පරිවර්තන ගමන් වියදම් දීමනා ආදී කරුණු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් මෙහි දී සාකච්ඡාව සිදු කළා.
එමෙන් ම සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ නියෝජිතයන් ඔවුනට බලපාන අනෙකුත් වෘත්තීය ගැටළු මෙන් ම සිය සේවා කටයුතු සිදු කිරීමේ දී අභියෝගයක‍්ව පවතින මානව හා භෞතික සම්පත් ආශ්‍රිත කරුණු රැසක් පිළිබඳව ද, පවුල් සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය තුළ විශිෂ්ටව ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා මෙන්ම එම සංගමයේ ඉදිරි ක්‍රියාමාර්ග සහ යෝජනාවන් දවෘත්තීය සමිති නියෝජිතයින් මෙහි දී නියෝජ්‍ය අමාත්‍යවරයා සමග දීර්ඝව සාකච්ජා කළා.
විසඳුම් ලබා දිය හැකි ගැටළුවලට එම මොහොතේම නිලධාරීන් සමඟ සාකච්ජා කොට විසඳුම් ලබා දීමට නියෝජ්‍ය අමාත්‍යවරයා පියවර ගත් අතර තවත් කරුණු ගණනාවක් සඳහා කඩිනමින් විසඳුම් ලබා දීමට ඇති හැකියාව පිළිබඳව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහි දී නිලධාරීන් සමග කරුණු විමසා බැලුවා.













