කඩවත ප්‍රදේශයේ නිවසක නිවැසියන්ට කඩවත පොලිසියෙන් හිරිහැර සිදු වූ බවට සිදු කර ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් බස්නාහිර උතුරු නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එන්.යූ.වුඩ්ලර් මහතා කියා සිටියේ එම නිලධාරීන් යම් වරදක් සිදුකර ඇත්නම් ඔවුන්ට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බවයි.
එළවළු ව්‍යාපාරිකයෙකු වන රත්නසිරි මහතා සහ ඔහුගේ බිරිඳ, වැඩිමල් පුතු හා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමට නියමිත 16 හැවිරිදි පුතු මෙම සිද්ධියට මුහුණදී තිබෙනවා.
රත්නසිරි මහතාගේ වැඩිමහල් පුතු මත්ද්‍රව්‍ය පානයට හුරු වී ඇති බවයි වාර්තා වන්නේ.
කඩවත පොලිසියේ නිලදාරීන් පිරිසක් පැමිණ එම වැඩිමල් දරුවා රැගෙන යාමට උත්සාහ දරා ඇති අවස්ථාවේ රත්නසිරි මහතා ප්‍රමුඛ පවුලේ අය එයට විරුද්ධෙ වී තිබෙනවා.
පසුව රත්නසිරි මහතා ඇතුළු පවුලේ පිරිස පොලිස් රාජකාරියට බාධා කළ බව පවසමින් එම මුළු පවුලම පොලිසියට රැගෙන ගොස් තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ 16 හැවිරිදි සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට සිටින දරුවා මෙලෙස කියා සිටියා.
“මං උඩ තට්ටුවේ ඉඳලා එනකොට මම දැක්කා තාත්තවයි, අම්මවයි, අයියවයි පොලිසිය හෑන්ඩ්කප් දාන්න අල්ලගෙන ඉන්නවා. ඊට පස්සේ මම අම්මව ඇදලා ගන්න හදනකොට ඒ පොලිසියේ අය අපි ඔක්කොම පොලිසියට අරගෙන ගියා.
මම ඇඳන් හිටපු කලසම් සාක්කුවේ හෙරොයින් දාගෙන හිටියා කියලා චෝදනා කරලා තියෙනවා.
අපිට මේ අය කරපු අසාධාරණයට සාධාරණයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ”
Source: දිවයින පුවත්පත