ඒකාබද්ධ විපක්ෂය මේ මස 21 වන දින කොළඹදී පැවැත්වීමට සැලසුම් කර ඇති රැළියට දමිල ප්‍රගතිශීලි සන්ධානය සහය නොදැක්වීමට තීරණය කළ බව දමිළ ප්‍රගිතිශීලි සන්ධානයේ නියෝජ්‍ය නායක නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පවසනවා.
හැටන් නගරයෙදී මාධ්‍ය හමුවක් පවත්වමින් දිගම්බරම් මහතා අද(16) මේ බව කියා සිටියා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පලනි දිගම්බරම් මහතා කියා සිටියේ ඉතිහාසයේ කිසිදු දිනක හෝ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් නොකළ බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එවැනි තීරණයකට එළැඹ වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1750 දක්වා වැඩි කිරීමට ගත් තීරණයට තමන් ස්තුතිවන්ත වන බවයි.
එම ජනතාවගේ ගැටලු විසඳීමට රජය ගන්නා සෑම ක්‍රියාමාර්ගයකටම වතුකරයේ ජනතාව වෙනුවෙන් දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ පූර්ණ සහයෝගය ලබාදෙන බවද පලනි දිගම්බරම් මහතා පවසනවා.
රජයේ වැටුප් වැඩි කිරීමත් සමග වතු කම්කරුවන් වතුකරය නියෝජනය කරන දමිළ දේශපාලනඥයන්ව ප්‍රතික්ෂේප කර ඇති බවට මාධ්‍ය මගින් ප්‍රදර්ශනය කළද එය රජයේ ඇතැම් පාර්ශ්වයකගේ සැලසුම් සහගත ක්‍රියාවක් බවයි පලනි දිගම්බරම් මහතා කියා සිටියේ.
වතු කම්කරුවන් ඕනෑම වේලාවක වෙනස් විය හැකි ජනතාවක් බවත් මේ රටේ යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්ෂ මහතාව ආපසු ගෙදර යැවීමට කටයුතු කළ රටේ බහුතර ජනතාව වත්මන් රජය වුවත් ඕනෑම වෙලාවක බලය නැති කිරීමට එම ජනතාව කටයුතු කළ හැකි බව අවධානයට ගෙන රජය කටයුතු කළ යුතු බවයි පලනි දිගම්බරම් මහතා කියා සිටියේය.













