නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 07 ක් කිලිනොච්චි ඉරණතිව් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
නාවික හමුදාව කියා සිටියේ ශ්‍රී ලංකා නාවික හමුදාව කිලිනොච්චි ඉරණතිව් උතුරු මුහුදු ප්‍රදේශයේ ඊයේ (05) රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගැනුණු බවයි.
සැකකරුවන් සමඟ මුහුදු කූඩැල්ලන් 335ක්, ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.
උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනය මඟින්, කිලිනොච්චි ඉරණතිව් ප්‍රදේශයට ඔබ්බෙන්වු උතුරු මුහුදු ප්‍රදේශයේදී මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සිදු කර තිබෙනවා.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 23 ත් 36 ත් අතර වයසේ පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇති බවයි නාවික හමුදාව පවසන්නේ.
සැකකරුවන්, මුහුදු කූඩැල්ලන් තොගය, ඩිංගි යාත්‍රා සහ කිමිදුම් උපකරණ ඉදිරි නීතීමය කටයුතු සඳහා කිලිනොච්චි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.














