නාවලපිටිය, නාගස්තැන්න ප්‍රදේශයේ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වටලා එහි සිටි 47 හැවිරිදි ප්‍රධාන ජාවාරම්කරු ඇතුළු සැකකරුවන් තුන් දෙනෙක් සහ මත්පැන් පෙරීමට උපයෝගී කරගත් උපකරණ රැසක් නාවලපිටිය දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ(29) දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති කේ.එම්. කුලතුංග මහතාගේ අධීක්‍ෂණය යටතේ නාවලපිටිය පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් චතුරංග මහතාට ලද බුද්ධි තොරතුරක් මත ඊයේ(29) දින නාවලපිටිය නාගස්තැන්න ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර සැකකරුවන් සහ මත්පැන් පෙරීමට උපයෝගී කරගත් උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මෙම වැටලීමේදී කසිප්පු ලීටර් 112ක්, ගෝඩා ලීටර් 66ක් මත්පැන් නිෂ්පාදනය සඳහා ගන්නා දඟර ගෑස් ලිප් ඇතුළු උපකරණ සමග සැකකරුවන් තිදෙනෙක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ජාවාරම්කරුවන් නාවලපිටිය හා යටියන්තොට පොලිස් වසම් සීමාවේ පිහිටි රක්ෂිතයක් තුළ දීර්ඝ කාලීනව ඉතා රහසිගතව සූක්ෂමව මෙම ජාවාරම පවත්වාගෙන ගොස් තිබෙනවා.
මත්පැන් පෙරීම සිදු කළ නාගස්තැන්න රක්ෂිතයට ඇතුළුවන මාර්ගය පුරා යකඩ මරඋගුරුල් වැනි ආරක්ෂිත ක්‍රම භාවිතා කර කිසිවෙක්ටත් රක්ෂිතයට ඇතුළුවීමට නොහැකි වන සේ මෙම ජාවාරම් කාලයක් තිස්සේ සිදුකර ඇති බවයි නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර නාවලපිටිය පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.













