ඉන්දියාවේ නව දිල්ලි අගනුවර පසුගිය සඳුදා රතු බලකොටුව පිටත සිදුවූ පිපිරීමෙන් තුවාල ලබා සිටි පුද්ගලයකු රෝහලේදී මියයාමත් සමඟ සිද්ධියෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 10දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එරට වාර්තා පැවසුවේ තවත් සිරුරු කොටස් ගණනාවක් හඳුනාගැනීම සඳහා ඉතිරිව ඇති බවයි.
මේ වනවිට පුද්ගලයන් 23 දෙනකු තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ගනිමින් සිටිනවා.
මේ අතර මෙම පිපිරීමත් සමඟ වෛද්‍යවරුන් විසින් මෙහෙයවන ලද භීෂණ ජාලයක් ඔස්සේ ඉන්දියාවේ නගර 4ක් මුල් කර ගනිමින් ප්‍රහාර මාලාවක් දියත් කිරීමේ කුමන්ත්‍රණයක් ඉන්දීය බුද්ධි අංශ විසින් හෙළිදරව් කර ගෙන තිබෙනවා.
මෙම කුමන්ත්‍රණය යටතේ නගර හතරක් ඉලක්ක කර ගනිමින් සම්බන්ධීකරණය කරන ලද වාහන 32ක පිපිරීම් මාලාවක් සඳහා සැලසුම් කර තිබූ බවයි අනාවරණය වී ඇත්තේ.
කුමන්ත්‍රණයට සම්බන්ධ පුද්ගලයන් අට දෙනෙකු පමණ සිටින බවත්, ඔවුන් යුගල වශයෙන් කටයුතු කරමින් නිශ්චිත නගර වෙත යොමු වී සිටි බවත් විමර්ශනවලින් හෙලි වී තිබෙනවා.
මුලික සොයාගැනීම් අනුව, එක් එක් කණ්ඩායම සමගාමී ප්‍රහාර එල්ල කිරීම සඳහා බහුල වශයෙන් තාවකාලික පුපුරණ ද්‍රව්‍ය උපාංග රැගෙන යාමට සැලසුම් කර තිබුණා.
මෙම භීෂණ ජාලය මෙහෙයවන ලද වෛද්‍යවරුන්ගෙන් ප්‍රධාන සැකකරු වන්නේ දිල්ලි පිපිරීමේදී රථය ධාවනය කළ වෛද්‍ය උමර් නබී බව පොලිසිය සනාථ කළා.
පිපිරීමෙන් පසු උමර්ගේ ජීව විද්‍යාත්මක සාම්පල ඔහුගේ මවගේ සාම්පල සමඟ ගැලපීමෙන් ඩීඑන්ඒ පරීක්ෂණ මගින් මෙම තොරතුර තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පැවසුවේ, පිපිරීමෙන් පසු රථයේ සුක්කානම සහ ඇක්සලරේටරය අතර උමර්ගේ පාදය සිරවී තිබීමෙන්, පිපිරීම සිදුවන අවස්ථාවේ ඔහු රියදුරු අසුනේ සිටි බවට ඉඟි වන බවයි.
විමර්ශනයට ලක්වන අනෙකුත් සැකකරුවන් අතර, රතු බලකොටුව පිපිරීමට සම්බන්ධ වෛද්‍යවරුන් වන වෛද්‍ය මුසම්මිල්, වෛද්‍ය අදීල් සහ ෂහීන් නමැති වෛද්‍යවරියක් ද වනවා.
මෙම කුමන්ත්‍රණය ෆරීඩාබාද් ත්‍රස්තවාදී මොඩියුලය සමඟ සම්බන්ධ වී ඇති අතර, එය පාකිස්තානය පදනම් කරගත් ජයිෂ්-ඊ-මොහොමඩ්ත්‍රස්ත සංවිධානය හා බැඳී ඇති බවය් මේ වන විට අණාවරණය කර ඇත්තේ.











