නත්තල් දිනය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකාවාසී ජනතාව මෙවර නත්තල සමරන්නේ ජාතියක් ලෙස ඉතා වේදනාකාරී ස්වභාවික ව්‍යසනයකට මුහුණදීමෙන් පසු අධිෂ්ඨානයෙන් යළි ගොඩනැගෙමින් සිටින තීරණාත්මක අවස්ථාවක බවයි.
කිතුනු දහමේ මෙන්ම සියලු ආගම්වල ඉගැන්වීම වන අසල්වැසියා විපතට පත් වූ අවස්ථාවේදී අත්නොහැර සහෝදරත්වයෙන් වැලඳ ගැනීමේ උතුම් මනුසත් ගුණාංගය පසුගිය ව්‍යසනය හමුවේ මෙරට ජනතාව පසක් කර තිබෙන බවද එහි සදහන්ව තිබුණා.
එමෙන්ම ජනාධිපතිවරයා එහි සදහන් කර ඇත්තේ යථාර්ථයේ වේදනාකාරී සත්‍යයට මුහුණ දෙමින් අභියෝග ජය ගෙන රටක් ලෙස එක්ව නැගී සිටීමට සියලුම පුරවැසියන්ට ආරාධනා කරන බවයි.
මේ අතර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියද නත්තල් දිනය වෙනුවෙන් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබුණා.
සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරිය පවසා ඇත්තේ නත්තලේ සැබෑ අරුත පෙරදැරිව, ජේසුස් වහන්සේගේ මඟපෙන්වීම් අනුව, රටේ ජනතාව සියලු භේද දුරලා එක් විය යුතු බවයි.
වඩා යහපත් හෙට දවසක් උදෙසා පුරවැසියන් ලෙස එකමුතුව, ආදරයෙන්, සහකම්පනයෙන් මෙන්ම වගකීම් සහගතව කටයුතු කිරීමට අධිෂ්ඨාන කර ගත යුතු බවද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කර තිබෙනවා.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් අවධාරණය කර ඇත්තේ දිට්වා සුළි කුණාටුවෙන් පසු අප රටක් ලෙස ශක්තිමත්ව පෙරට යාම සදහා ජාති ආගම් පන්ති පාට පක්ෂ භේදයෙන් තොරව ශ්‍රී ලාංකිකත්වයෙන් කටයුතු කළ යුතු බවයි.













