ධීවර ප්‍රජාවට සහනයක් ගෙන එමින් ගුණාත්මක බවින් ඉහළ සිපෙට්කෝ ලිහිසි තෙල් ධීවර වරාය ආශ්‍රීතව බෙදාහැරීමේ නව වැඩපිළිවෙළක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සහාය ඇතිව අද(27) සිට ආරම්භ කර තිබෙනවා.
මේ අනුව ධීවර යාත්‍රාවලට අවශ්‍ය අමෙරිකානු තත්ව සහතිකලත් ගුණාත්මක ලිහිසි තෙල් නිෂ්පාදන ධීවර වරාය පරිශ්‍රයෙන්ම මිලට ගැනීමට හැකියාව ධීවරයන්ට ලැබෙනවා.
මෙහි මුල් පියවර අද දික්ඕවිට ධීවර වරායෙන් ආරම්භ කරන ලද අතර ඉදිරියේදී රට පුරා පිහිටුවා ඇති ධීවර වරායන් 25ක් ආශ්‍රීතව විශේෂයෙන් බහුදින ධීවර යාත්‍රා සඳහා අවශ්‍ය ලිහිසි තෙල් ධීවර ප්‍රජාවට සහනයක් වන අයුරින් ලබාදීමට සැලසුම් කර ඇති බවයි බලශක්ති අමාත්‍යංශය පවසන්නේ.
එහිදී අදහස් දැක්වූ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා කියා සිටියේ රජයේ ආයතන හරහා ලැබෙන ලාභය පෙරලා ජනතාවට සහන සැලසීම සහ යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා වැය කරන බවයි.
ධීවර ප්‍රජාවට ලබාදෙන භූමිතෙල් සහනාධාරය නිශ්චිතවම ධීවරයාට ලැබෙන බවට සහතික කෙරෙන වැඩපිළිවෙළක් ඉදිරියේදී සකස් කරන බද ඒ හා ආශ්‍රීතව සිදුවන අයතා ගනුදෙනු වැළැක්වීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා කියා සිටියා.
තවද රාජ්‍ය හිමිකාරීත්වය සතු ආයතනයක් ලෙස ඉහළ ගුණාත්මක නිෂ්පාදන ක්‍රියාවලියක් ඔස්සේ නිෂ්පාදනය වන සිපෙට්කෝ ලිහිසි තෙල් නිෂ්පාදන අන්තර්ජාතික තත්ව සහතික ලබා භාවිතා ඇති බවත් ඒවායේ ගුණාත්මකභාවය තහවුරු වී ඇති බවත් පවසමින් ධීවර ප්‍රජාව මෙන්ම අනෙකුත් යාන වාහන භාවිතා කරන්නන්ද එකී නිෂ්පාදන භාවිත කළ යුතු යැයි තමා උදෙක්ම ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා කියා සිටියා.
මෙහිදී සාගර ජලජ සම්පත් හා ධීවර කටයුතු අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතාද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙක්ද ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති කපිල බමුණුආරච්චි මහතාද අදහස් දැක්වූවා.











