අධිකරණ නියෝග කඩ කරන ලද සැකකරුවන් පස් දෙනෙක් පලාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදාහැර තිබෙනවා.
පලාලි, තෛයිසෙට්ටි ග්‍රාමසේවා වසමේ පිහිටි තිස්ස විහාරය ඉදිරිපිට එම විහාරස්ථානය පිහිටි ඉඩම සම්බන්ධ ආරවුලක් හේතුවෙන් පිරිසක් විසින් ඊයේ(21) උද්ඝෝෂණයක් සංවිධානය කරන ලද බවට ලද තොරතුරක් මත පලාලි පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර අධිකරණ නියෝගයක් ලබාගෙන තිබෙනවා.
එම නියෝගය අනුව උද්ඝෝෂණයට සහභාගී වන විරෝධතාකරුවන් ආගමික ස්ථානයේ හෝ ප්‍රධාන ගේට්ටුව හෝ වීදියේ හෝ දේවල පරිශ්‍රයේ හෝ දේවාලයේ පැවැත්වෙන උත්සවයකදී හෝ දේවාල දේපළවලට කිසිදු බාධාවක් හෝ හානියක් නොකළ යුතු බවත් සාමය කඩවන ඉදි නොකළ යුතු බවටත් කිසිදු නීති විරෝධී පෙළපාලියක් හෝ පෙරහැරක් හෝ නීති විරෝධී රැස්වීමක් නොපැවැත්විය යුතු බවත් ආගමික ස්ථානයට කිසිදු ආකාරයකින් බාධා නොකළ යුතු බවටත් අධිකරණ ආඥාවක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ඊයේ(21) දින එම විහාරස්ථානය ඉදිරිපිට නීති විරෝධී රැස්වීම, අයුතු අවහිරය, මාර්ග අවහිර කිරීම, සාපරාධී බලහත්කායපෑම හා අධිකරණ නියෝගය කඩ කිරීම යන චෝදනා යටතේ උද්ඝෝෂණයේ නිරත වූ පුද්ගලයින් පස් දෙනෙක් පලාලි පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
එලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවන් පස් දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැර ඇති අතර එළැඹෙන ජනවාරි මස 26 වන දින මෙම නඩුව යළි කැඳවීමට නියමිතව තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හරින ලද පිරිස අතර යාපනයේ ප්‍රාදේශීය දේශපාලනඥයන්ද සිටින බවටයි වාර්තා වන්නේ.
පලාලි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













