ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා ගැනීමට නොහැකිවූ පිරිසගේ දත්ත රැස්කිරීමට කටයුතු කරන ලෙස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව මගින් පත්කළ අනු කාරක සභාව මගින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
මෙම උපදෙස් ලබා දී ඇත්තේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටලුව විසඳීමට ගත හැකි ඉදිරි පියවර සොයාබැලීම සඳහා වන එම අනු කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදීයි.
එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම අනු කාරක සභාව රැස්ව තිබුණා.
මෙම දත්ත රැස් කිරීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස නුවරඑළිය, මඩකලපුව, පොළොන්නරුව සහ කොළඹ යන දිස්ත්‍රික්කවල හැටන්, දකුණු කෝරලයිපත්තු, වැලිකන්ද සහ වැල්ලවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල දත්ත රැස් කිරීමට සැලසුම් කර ඇති බවයි අනුකමිටුවේ සභාපතිවරිය සඳහන් කලේ.
ඒ අනුව එම තොරතුරු රැස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ඇය අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ .
මෙහිදී ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා ගැනීමට නොහැකිවූවන්ට සහන සැලසීම හෝ එම ගැටලුවෙන් ඔවුන් මුදා ගැනීමට මැදිහත් වන්නේ කෙසේද යන්න පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ලැබුවා.
මේ වනවිට ලංකා ක්ෂුද්‍ර මූල්‍ය වෘත්තිකයින්ගේ සංගමයේ ලියාපදිංචි වී ඇති ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදෙන ආයතන 34ක් කැඳවා ඔවුන් සමග සාකච්ඡා කර අදාළ ණය කරුවන්ට ලබාදිය හැකි සහන සම්බන්ධයෙන් ගතහැකි පියවර පිලිබදව විමසීමටද මෙම රැස්වීමේදී තීරණය කර තිබෙනවා.