ඩයගම ප්‍රාදේශීය රෝහල තුළ පුද්ගලයෙකු කලහකාරී ලෙස හැසිරී එම රෝහලේ ගිලන් රථ රියදුරාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දින තුනක් තිස්සේ වසා දමා තිබූ එම රෝහලේ ප්‍රතිකාර කටයුතු අද(24) දින සිට සාමාන්‍ය පරිදි සිදු කරන බව එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිනී මෙනුෂා වැලිකන්ද මහත්මිය පවසනවා.
පසුගිය 20 වන දින තුවාලකරුවෙකු රැගෙන රෝහලට පැමිණි පුද්ගලයෙකු රෝගියාට ප්‍රතිකාර කිරීමට ප්‍රමාද වූ බවට චෝදනා කරමින් රෝහල තුළ කලහකාරී ලෙස හැසිරී එම රෝහලේ ගිලන් රථ රියදුරාට පහරදීමේ සිද්ධියක් පදනම් කර ගනිමින් රෝහලට ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලමින් එම රෝහලේ සේවය කරන දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරිය ඇතුළු තවත් වෛද්‍යවරියක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපදෙස් පරිදි සේවා කටයුතුවලින් පසුගිය 20 වනදා සිට අද(24) දින දක්වා සේවයෙන් බැහැරව සිටියා.
රෝහල තුළ කලහකාරී ලෙස හැසිරී ගිලන් රථ රියදුරා පහර දුන්නේ ැයයි කියන සැකකරු ඩයගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව සැකකරු ඇපමත මුදාහැර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව අද(24) දින රෝහලේ දෛනික සේවා කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරනු ලබනවා.
ඩයගම පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කේ.එච්. හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ එම සිද්ධියත් සමගින් රෝහලට දිවා රාත්‍රී දෙකේම පොලිස් ආරක්ෂාවක් ලබාදී ඇති බවයි.













