වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ පසුගිය 16 වනදා වෙරළබඩ පොලිස් බලප්‍රදේශයේ ජින්තුපිටිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර දරුවන් දෙදෙනෙකුට තුවාල කිරීමේ අපරාධයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වෙරළබඩ පොලිස් ස්ථානය සහ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදු කරනු ලැබූ විමර්ශනවලින් හෙළිවූ තොරතුරු මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ජනවාරි 18 සහ 19 දින වෙරළබඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ජින්තුපිටිය හා කොටහේන ප්‍රදේශවලදී මෙම අපරාධයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සැකකරුවෙකු හෙරොයින් ග්‍රෑම් 04 මිලිග්‍රෑම් 800ක් සමගද තවත් සැකකරුවන් තිදෙනක් සහ සැකකාරියක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාරිය අවුරුදු 49ක් හා සැකකරුවන් අවුරුදු 18, 33, 40 හා 43 යන වයස්වල පසුවන කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.
සැකකාරිය හා සැකකරුවන් ඊයේ(19) අලුත්කඩේ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර එක් සැකකරුවෙකු සඳහා එළැඹෙන 23 වනදා දක්වා රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා.
අනෙක් සැකකාරිය හා සැකකරුවන් ජනවාරි 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
වෙරළබඩ පොලිසිය හා කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.










