පිලිපීනයේ පැවති ”මිස් ටුවරිසම් යුනිවර්ස් – 2025” (Miss Tourism Universe ) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ආදිත්‍යා වැලිවත්ත, එහිදී ”ජාත්‍යන්තර සංචාරක රූ රැජින” (Queen of the International Tourism) ලෙස කිරුළ දිනාගෙන අද(11) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
මෙම තරගාවලිය ලෝකයේ රටවල් 17ක රූ රැජිනියන් 17 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉකුත් ජුලි මස 30 දින සිට අගෝස්තු මස 08 දින දක්වා පිලිපීනයේ මැනිලා නුවරදී පැවැත්වුණා.
ආදිත්‍යා වැලිවත්ත මෙම ජයග්‍රහණයට අමතරව මෙම තරගාවලියේ හොඳම ජාතික ඇදුම (Best National Costume) සහ Most Beautiful Photogenic යන සම්මාන ද්විත්වය ද දිනාගැනීමට සමත් වී සිටියාය.
ආදිත්‍යා වැලිවත්ත ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා ප්‍රකට ගායිකාවකි.
ඇය අද (11) දින අලුයම 12.20 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
ඇය පිළිගැනීම සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන්, ඇයගේ මව, සහෝදරයා, මෙම තරගාවලියේ ජාතික අධ්‍යක්ෂ මෙන්ම ජාතික පුහුණුකරු රුක්මාල් සේනානායක මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.