හදිසියේම රෝගාතුරවීම නිසා ළමුන් 25 දෙනෙක් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න මහතා පවසනවා.
රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේ අඹේවෙල ප්‍රදේශයේ සංචාරයක් සඳහා පැමිණි පාසල් ළමුන් පිරිසක් මෙලෙස හදිසියේ රෝගාතුරවීම හේතුවෙන් ඊයේ(02) දින රෝහල් ගත කෙරුණු බවයි.
පොළොන්නරුව හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පාසල් ළමුන් 75 දෙනෙක් ගුරුවරුන් සහ දෙමාපියන් පිරිසක් දුම්රියන් අගෝස්තු මස 01 වැනිදා අඹේවෙල දුම්රිය ස්ථානය වෙත පැමිණ මීපිලිමාන ප්‍රදේශයේ පෞද්ගලික නවාතැන්පලක එදින නතර වී තිබෙනවා.
එම සිසුන් පිරිස රැගෙන ආ දිවා ආහාරය ප්‍රමාද වී අනුභව කර ඇති බවත් එදින රාත්‍රීයේ කඳපොළ ප්‍රදේශයේ පෞද්ගලික වෙළෙඳ සැලකින් ලබාගත් ආහාර අනුභව කිරීමෙන් පසු ඊයේ(02) දින උදෑසන ළමුන් 25 දෙනෙක් ක්ලාන්තය, වමනය සහ පාචනය යන රෝග ලක්ෂණ සහිතව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියා සිටියේ.
රෝහල්ගත කළ සිසු සිසුවියන් 25 දෙනාගෙන් අට දෙනෙක් ඊයේ(02) දිනම ප්‍රතිකාර ලබා රෝහලෙන් බැහැරව ගොස් ඇති බවත් රෝගාතුර වූ තවත් සිසු සිසුවියන් 17 දෙනෙක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න මහතා පවසනවා.
සංචාරයක් සඳහා පැමිණි පාසල් සිසුන් පොළොන්නරුව හිඟුරක්ගොඩ ප්‍රදේශයේ දුෂ්කර පාසල්වල සිට පැමිණි පිරිසක් බවත්, එම සිසුන්ට නතරවීමට නොමැති නිසා සත්කාරයක් වශයෙන් තම රෝහලේම ගොඩනැගිල්ලක එම ළමුන් පිරිසට නවාතැන් පහසුකම් ලබාදී ආහාරපාන ලබාදීමට කටයුතු කළ බවද රෝහල් අධ්‍යක්ෂවරයා කියා සිටියා.