රම්බොඩ ගැරඬිඇල්ල බස් අනතුරෙන් විපතට පත්වූවන් වෙනුවෙන් උපරිම අයුරින් සහන සලසා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරලී අනතුරක් සිදු වූයේ පසුගිය මැයි 11 වනදායි.
කතරගම ඩිපෝවට අයත් මෙම බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු ඇතුළු පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
අනතුරින් තුවාල ලැබූ ප්ද්ගලයින් ගණන 61 ක්.
මිය ගිය අයගේ අවසන් කටයුතු සඳහා දායකත්වය ලබා දුන් අතර තුවාල ලැබූවන්ගේ අවශ්‍යතා සොයා බැලීමට උපරිම පියවර ගත් බවයි ලංකා ගමනාගමන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.
මිය ගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් 25,000 බැගින් ද තුවාල ලැබූවන්ට 10,000 බැගින් ද සහ රියදුරුට රුපියල් ලක්ෂයක දීමනාව හා පාරිතෝෂිත ඇතුළු සියලු ගෙවීම් කර ඇති බවද එම නිවේදනයේ සදහන්.
මීට අමතරව බස් රථය රක්ෂණය කර තිබූ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් ද මූල්‍ය පරිත්‍යාග සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව වයස අවුරුදු 18ට වැඩි මිය ගිය අයෙකු වෙනුවෙන් රුපියල් දෙලක්ෂ විසි පන් දහසක් සහ 18ට අඩු අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් ද ගෙවීමට නියමිතයි.
තුවාල වූ එක් අයෙකු වෙනුවෙන් රුපියල් 50,000 බැගින් ගෙවීමටම නියමිත බව එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා තිබෙනවා.
මෙම ගෙවීම් සඳහා රුපියල් හැත්තෑ හත් ලක්ෂ විසි පන්දහසක මුදලක් ලබාදීමට රක්ෂණ සමාගම එකග වී ඇති බවත් එම මුදල ලද විගස අදාළ පාර්ශ්ව වෙත ලබා දෙන බවත් එම මණ්ඩලය අවධාරණය කරනවා.
බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර වෙනුවෙන් කම්කරු වන්දි පනත යටතේ කම්කරු ගෙවීම් සදහා අවශ්‍ය මූලික කටයුතුද මේ වන විට සිදු කර තිබෙනවා.