නුවරඑළිය ගැරඬිඇල්ල ප්‍රදේශයේ මාරක බස් අනතුර සිදුවූ ආකාරය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ පරීක්ෂණ මණ්ඩල වාර්තාව නිකුත් කර තිබෙනවා.
පසුගිය 11 වනදා අලුයම 4:45ට පමණ නුවරඑළිය – මහනුවර මාර්ගයේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වූ භක් – 1144 දරණ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථය ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුවුනා.
එම අනතුරින් මගීන් 23 දෙනෙකු මියගිය අතර තවත් 60 දෙනෙකු තුවාල ලැබා රෝහල් ගත කරනු ලැබුවා.
අනතුරින් 43 හැවිරිදි තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි කතරගම ඩිපෝවට අනුයුක්තව සේවය කළ රියදුරා ද ජීවිතක්ෂයට පත් වුනා.
මෙම අනතුර සම්බන්ධයෙන් 6 දෙනෙකුගෙන් යුත් පරීක්ෂණ මණ්ඩලයක් විමර්ශන සිදුකළ අතර ඔවුන් ස්ථානීය පරීක්ෂණ මෙන්ම කොත්මලේ පොලිස් ස්ථානයේදී අනතුරට ලක්වූ බස් රථයද පරීක්ෂාවට ලක්කර තිබුණා..
මෙහිදී ඔවුන් පාරිසරික සහ කාලගුණික තත්ත්වය, මාර්ගයේ ස්වභාවය, අනතුර සිදුවූ ස්ථානයේ මාර්ගයේ පිහිටීම සහ රියදුරුවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සහ නීත්‍යානුකූලභාවය පිළිබඳව ද අවධානය යොමුකර ඇති බවයි එම වාර්තාවේ දක්වා තිබුණේ.
අදාළ පරීක්ෂණ වාර්තාවේ නිගමනයට අනුව අදාළ බස් රියදුරා නියමිත කාලය විවේක නොගෙන දීර්ඝ කාලයක් බස් රථය ධාවනය කරවා ඇති බවට අනාවරණය කර තිබෙනවා.
පරීක්ෂණ මණ්ඩලය පෙන්වා දී ඇත්තේ පැය හතරහමාරක ධාවන කාලයක් සඳහා පැය භාගයකට නොඅඩු කාලසීමාවක් ඉස් රථ රියදුරෙකු විවේක ගතයුතුව පවතින බවයි.
එහෙත් ලබාගත් තොරතුරු අනුව අණාවරණය වී ඇත්තේ අදාළ රියදුරා වැලිමඩ ප්‍රදේශයේදී විවේකගෙන ඇත්තේ විනාඩි 15ක පමණ කාලයක් බවයි.
ඒ අනුව අනතුර සිදුවන විට රියදුරු පැය හයහමාරකට අධික කාලයක් අඛණ්ඩව රිය ධාවනයේ යෙදී තිබෙනවා.
ඒ අනුව අදාළ රියදුරා මෝටර් වාහන පනතේ වගන්ති උල්ලංඝණය කර ඇති බවද පරීක්ෂණ මණ්ඩලයේ නිගමනය වී ඇති බවයි එම වාර්තාව පෙන්වා දෙන්නේ.