මොරටුව ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ වාර්ෂික පෙරහර හේතුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කිරීමක් සිදුවන බව පොලිසිය පවසනවා.
එම දේවස්ථානයේ 151 වන වාර්ෂික පෙරහර මංගල්‍ය අද(20) දින සවස් කාලයේදී පැවැත්වීමට නියමිත බවයි පොලිසිය කියා සිටියේ.
පෙරහර මොරටුව ශාන්ත සෙබස්තියන් දේවස්ථානයෙන් ගමන් ආරම්භ කර පරණ ගාලු පාර, ශාන්ත පීතර් පටුමග, නව ගාලු පාර, මොරටුව බස් නැවතුම්පොළ, වීර පුරන්අප්පු රජ මාවත, ජොශප් මාර්ගය හරහා කුරුස හන්දියට පැමිණ නැවත පරණ ගාලු මාර්ගය හරහා දේවස්ථානයට පැමිණීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අද(20) දින පස්වරු 4 සිට පසුදින අලුයම 01 දක්වා පෙරහර ගමන් ගන්නා කාලය තුළ ඇති විය හැකි මාර්ග අවහිරතා අවම කර ගැනීම සඳහා පහත සඳහන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙෂ එම ප්‍රදේශය හරහා ගමන් කරන රියදුරන් හා මහජනතාවගෙන් පොලිසිය ඉල්ලා සිටිනවා.
විකල්ප මාර්ග
- කොළඹ දෙස සිට පානදුර දෙසට ගමන් ගන්නා සියලුම රථ වාහන මොරටුව කටුබැද්ද හන්දියෙන් වමට හැරී පිළියන්දල දෙසට ගමන් කර බණ්ඩාරගම හරහා පානදුර දෙසට ගමන් කළ හැකිය.
- පානදුර දෙස සිට කොළඹ දෙසට ගමන් ගන්නා සියලුම රථ වාහන පානදුර ඔරලෝසු කණුව වටරවුමෙන් පානදුර උතුර කෙසෙල්වත්ත හරහා පරණ ගාලු මාර්ගය ඔස්සේ මොරටුව කුරුස හන්දියෙන් හැරී කොළඹ දෙසට ගමන් කළ හැකිය.
- පෙරහර නව ගාලු මාර්ගයට පිවිසීමේදී කොළඹ දෙසට ඇතුළුවන මංතීරුව වසා තබන අතර එහි එක් මංතීරුවක් හරහා කොළම දෙසට හා ගාල්ල දෙසට ගමන් කළ හැකි බවයි පොලිසිය පවසන්නේ.










