නුවරඑළිය සහ නානුඔය ප්‍රදේශයට මේ දිනවල ඇදහැනෙ අධික වැසිත් සමග නණූ පොලිස් වසමට අයත් උඩරදැල්ල වතුයායේ ඉහළ කොටසේ වතු කම්කරු පවුල් හතකට අයත් සාමාජිකයන් 47 දෙනෙක් තාවකාලිකව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට එම වතුයායේ පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.
එම පවුල් පදිංචිව සිටි නිවාසවලට ඉහළින් කඳු මුදුනේ තිබෙන විශාල ගල් කිහිපයක් පැවැති වර්ෂාවත් සමග පහළට පෙරලී තිබෙනවා.
තවත් ගල් කිහිපයක් පහළට පෙරලීමේ දැඩි අවදානමක් පවතින නිසා එම නිවාසවල පදිංචිකරුවන් තාවකාලිකව ඔවුන්ගේ ඥාතීන්ගේ නිවෙස්වල පදිංචි කර තිබෙනවා.
ඉහළ කඳු මුදුනේ සිට පහළට පෙරළුණු ගලක් වතු නිවාස ආසල පිහිටි එළු ගාලකට පෙරලීමෙන් එම එළු ගාල කඩා වැටී එළුවන් දෙදෙනෙක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පවත්නා අවදානම මත තමන්ට වෙනත් ස්ථානයක නිවාස ඉදිකරදෙන ලෙස ආපදාවට පත් වතු කම්කරුවන් රජයෙන් ඉල්ලා සිටිනවා.
ඊයේ(23) දිනයේත් නානුඔය ප්‍රදේශයට දැඩි අයහපත් කාලගුණයක් පැවැතියා.