කඩවත්රැඹෑව , ලුණුපැහිච්චාව, පරණහල්මිලලෑව, ඇතුලු ගම්මාන රැසක දුවා දරුවන්ට වසර 61 ක් මෙරට නිදහස් අධ්‍යාපනය ලබා දුන් කඩවත්රැඹෑව විදුහල මීට වසර දෙකකට පෙර එවක සිටි බලධාරින් වසා දැමීමට කටයුතු කළේ සිරගෙවල් 1000ක් නැවත විවෘත කරමින් බව ගම්වාසීහු කියති.
පාසලක් ඉදිවෙද්දි සිරගෙවල් දහසක් වැසෙනවා යන වැකිය උඩු යටිකුරු කරමින් අධ්‍යාපන බලධාරින් මෙන්ම පවතින සහ පැවැති රජයන් මෙරට නිදහස් අධ්‍යාපනයට අමු අමුවේ පහර ගසමින් අධ්‍යාපනය පෞද්ගලික කරණය කරමින් සිටින බවද ඔවුන් සඳහන් කළේය.
මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලබල ප්‍රදේශයේ අංක 52 තුලානේ කඩවත්රැඹෑව පාසල පිහිටා ඇත. වර්ෂ 1962 මාර්තු මස 01වන දින ආරම්භ වූ මෙම පාසලේ ආරම්භක විදුහල්පති ලෙස එස් .සෙනවිරත්න මහතා දීප්තිමත් සේවාවක් ලබා දී තිබුණී. අනතුරුව විදුහල්පතිවරුන් 17 දෙනෙකු ගතවූ වසර 61 පුරාවට එම පාසලට අඛණ්ඩ සේවාවේ රැදීසිටි අතර එක් පාසලක සිසුන් 50කට නොඅඩුනම් වසා දැමීම සුදුසු යැයි යන අධ්‍යාපන බලධාරීන්ගේ තීරණය මත මෙම පාසල ගමේ දරුවන්ට අහිමි වී ඇත. මේවන විටත් එම පාසලේ ගොඩනැගිලි, රාජ්‍ය සම්පත් මෙන්ම මහජනතාවගේ මුදල් වලින් ඉදිවූ ගොඩනැගිලි පාවිච්චියට ගත හැකි ඉතා සුදුසු මට්ටමේ ඇති අතර එහි නැවත පාසල විවෘත නොකරන්නේනම් එම ගොඩනැගිලි වෘත්තෘය පුහුණු මධ්‍යෂ්ථානයකට හෝ තරුණ තරුණයින්ට රැකියාවක් ලැබෙන කාර්මික මධ්‍යෂ්තානයක් ඉදිකර ප්‍රයෝජනයට ගන්නා ලෙස බලධාරින්ගෙන් ගම්වාසීහු ඉල්ලා සිටිති.
ඒ පිළිබද අදහස් දැක්වූ කඩවත් රැඹෑවගම්වැසියෝ.
“බලධාරින්ගේ අත්තනෝමතික තීන්දු තීරණ හේතුවෙන් වගේම වත්මන් බලධාරීන්ගේ සැලසුමක් නොමැති වැඩ නිසා අද අපේ ගමේ පාසල මත් ලෝලින්ගේ පාරාදේශයක් වෙලා. මේ පාසල ගම්මානයේ පාසල් දරුවන්ගෙන් උදුරාගෙන අවසන් දැන්. ඩෙස් පුටු පැටෙවිවා. තියෙන ලක්ෂ ගනම් බඩුමුට්ටු හිතුන හිතුන අය අරගෙන ගියා දැන් හිස් ගොඩ නැගිලි ටිකක් තියෙනවා කැලෙන් වැහිලා. තාමත් මේ ගොඩනැගිලා හොඳ ඉත්ත්වයේ තියෙනවා. කෝටි ගනම් මහජන දේපල අමු අමුවේ කැලෑවට යන්න හැරලා එදා වගේම අදත් ඉන්න පාලකයින් ඇස් පියාගෙන “
“දැන් අපි කියන්නේ මේ ගොඩනැගිලි වලින් අධ්‍යාපනය පසකා දා ගම්මානවල තරුණ තරුණියන්ට රැකියා ලබා දීමේ වැඩ සටහනක්වත් බලධාරින්ට ක්‍රියාත්මක කරන්න නුවනක් පහල වෙන්න කියලයි.ජනාධිපතිතුමණී. මේ ඔබේ දිස්ත්‍රිකයේ දරුවන්ට ගේට්ටු වැසුනු පාසලක්. මේ පාසල මේ තැනට පත් කරන්න සැලසුම් කළ අයට නීතියෙන් දඩුවම් ලබා දෙන්න කියලත් අපි ඉල්ලා සිටිනවා.”
“අපේ ගමේ දරුවන් ඉගෙන ගත්ත පාසල. අපි , අපේ අම්මා තාත්තා, සීයා මුත්තා ඉගෙනගත්ත පාසල. සැලසුමක් නොමැති වැඩ නිසා අධ්‍යාපන බලධාරින් අමතක කළ පාසලක් නිසා මුලින්ම මේ පාසල වහලා දැම්මා. ගමේ මිනිස්සුන්ට මුදල් බලය , නිල බලයක් තිබුණනම් මේ පාසල නඩු කියලා හරි රැක ගන්නවා. නමුත් අපි අසරණ මිනිස්සු. මේ රටේ හැමදාමත් අසරණයට තැනක් නෑ. දැන් වෙච්ච දේ වුණා. අපි කියන්නේ මේ කෝටි ගනම් දේපල නිකරුණේ විනාශ වෙන්න ඉඩ නොදී එක්කෝ නැවත ගමට පාසල ලබා දෙන්න. එහෙමත් බැහැනම් මේ ගොඩනැගිලි ප්‍රයෝජනයට ගෙන ගමේ කාර්මික මධ්‍යෂ්ථානයක්, ගාමට් එකක් හරි තරුණ තරුණියන්ට දාලා දෙන්න කියලා. හැබැයි අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා එවක සිටි අධ්‍යාපන බලධාරින්ගෙන් මේ පාසල වසා දැමීට මුල් කරගත් හේතු සොයා බලා පාසලක් රැකගන්න වෙහෙස නොවුන පිරිස්වලට නීතියෙන් දඩුවම් ලබා දෙන්න කියලා. අද අපිට සතුටු වෙන්න පුලුවන් දෙයක් වෙලා නෑ. මොකද මේ වැහුනේ හිර ගෙදරක් නොවේ පාසලක්.”