ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දිගෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ මේවන විට රඳවාගෙන ප්‍රශ්න කරනු ලබබනවා.
එහිදී ඇය පවසා ඇත්තේ, තමන්ගේ පෙර පෙම්වතකු වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හරහා කෙහෙල්බද්දර පද්මේ හඳුනාගත් බවයි.
ගණේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු බවට පැවසෙන සමිඳු දිල්ෂාන් පියුමංග නැමැත්තාව පද්මේ විසින් තමන්ට හඳුන්වාදුන් බවද ඉෂාරා විමර්ශන නිලධාරීන් හමුවේ පවසා තිබෙනවා.
එම පුද්ගලයා යොදාගෙන මෙම වෙඩි තැබීම සිදු කරන ලෙස ලෙස තමන්ට පද්මේ පැවසූ බවත් ඇය විමර්ශන නිලධාරීන් හමුවේ පවසා ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව තමන් ඔහු සමග සමීප සබඳතාවක් පවත්වමින් ඝාතනය සඳහා මෙහෙය වූ බවද ඉෂාරා පවසා තිබෙනවා.
කෙහෙල්බද්දර පද්මේ සමග පැවැති හිතවත්කම හේතුවෙන් කිසිඳු මුදලක් ඒ සඳහා ලබා නොගත් බවද ඇය විමර්ශන නිලධාරීන් හමුවේ පවසා තිබුණා.
ගණේමුල්ල සංජීව ඝාතනය වූ දිනම එනම් පසුගිය පෙබරවාරි 19 වනදා රාත්‍රියේ තමන් වැලිපැන්න ප්‍රදේශයේ නිවසක රැය පහන් කළ බවත් ඊට පසු දින කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයෙකු වන මතුගම ශාන්ගේ සමීපතමයෙකුගේ දොඩංගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක මාස එකහමාරක කාලයක් රැඳී සිටි බවත් ඇය පවසා තිබෛනවා.
අනතුරුව ඇය අප්‍රේල් 13 වනදා දොඩංගොඩ සිට මිද්දෙණිය ප්‍රදේශයේ නවාතැන්ගෙන සිටි නිවස වෙත ගොස් තිබුණා.
එම දිනය ඔවුන් යොදාගෙන ඇත්තේ, අලුත් අවුරුදු සමය බැවින් පොලිස් නිලධාරීන් අවුරුදු රාජකාරීවල යෙදී සිටි නිසා බව යි අණාවරණය වී ඇත්තේ.
එමෙන්ම එහි රැඳී සිටි ඇය, මැයි 6 වැනිදා එනම් පළාත් පාලන මැතිවරණය පැවැති දින යාපනය බලා ගොස් ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.
එම දිනය තොරාගෙන ඇත්තේ පොලිස් නිලධාරීන් අදාළ දිනයේදී ඡන්ද රාජකාරීවල යෙදී සිටීම හේතුවෙන්.
එම කාලය තුළදී තමන් කිසිඳු ජංගම දුරකතනයක් භාවිත නොකළ බවත් ඇය පවසා තිබෙනවා.
මේ අතර ඉෂාරා සෙව්වන්දි ඊයේ දිනයේදී මතුගම ප්‍රදේශයට රැගෙන ගොස් ඇති අතර අනතුරුව ඇය නවාතැන්ගෙන සිටි මිද්දෙණිය ප්‍රදේශයේ නිවසට ද ඇයව රැගෙන ගොස් තබෙනවා.
එහිදී ඇයට නවාතැන් ලබාදුන් වැලිපැන්න නිවසේ හිමිකාරිය හා ඇයගේ බෑණා වන අලුත්ගම පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුව ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම දොඩංගොඩ නිවසේද නවතැන් ලබාදුන් පුද්ගලයාව සහ මිද්දෙණිය ප්‍රදේශයේ ඇයට නවාතැන් ලබාදුන් නිවසේ කාන්තාවද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෙසේවෙතත් එම කාන්තාව හරක් කටා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ සේවකයාගේ බිරිය බවයි පොලිසිය සඳහන් කළේ.