ජාතික ජන බලවේගයට එරෙහි ඕනෑම පාර්ශ්වයන්ගේ එකතුවෙන් සැදුම්ලත් පාලනයකට කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා තම පක්ෂයේ සහය ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා මේ බව කියා සිටියා.
මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා කියා සිටියේ ආණ්ඩුවට කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට මහ නගර සභා සීමාව තුළ පදිංචිකරුවන්ගෙන් අතිබහුතරයක් කැමැත්ත ප්‍රකාශ කර නොමැති බවයි.
එලෙස කොළඹ මහ නගර සභා සීමාවේ ජනතාව මාලිමාවට ප්‍රතික්ෂේප කිරීමේ තත්ත්වයක් තුළ මාලිමාවට විරුද්ධ පාර්ශ්වයන්ගේ එකතුවෙන් සැදුම්ලත් පාලනයක් බිහි කිරීම සඳහා අවශ්‍ය සහයෝගය පක්ෂයෙක් ලෙස ලබාදෙන්න සූදානම් බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගර කාරියවසම් මහතා….
“මෙම පත් කිරීමේදී සමගි ජන බලවේගයට නගරාධිපතිවරයෙක් පත් කරන්නත් එක්සත් ජාතික පක්ෂයට නියෝජ්‍ය නගරාධිපතිවරයෙක් පත් කරන්නත් බෑ.
ඒ කිසිවෙක්ට නගරාධිපතිවරයෙක් හෝ නියෝජ්‍ය නගරාධිපතිවරයෙක් පත් කරන්න අවශ්‍ය බහුතර බලය ලබාදී නෑ.
පත්වෙන්නේ සමගි ජන බලවේගයේ නගරාධිපතිවරයෙක් නෙවෙයි… මාලිමා ආණ්ඩුවට විරුද්ධ පාර්ශ්වයේ නගරාධිපතිවරයකේ… අන්න ඒක පැහැදිළිව කියන්න ඕනි…
අපි කිසිම විටක සමගි ජන බලවේගයේ නගරාධිපතිවරයෙක් හෝ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නගරාධිපතිවරයෙක් පත් කිරීමට සහය දෙන්නේ නෑ.
නමුත් අපි සහයෝගය දෙනවා පවතින දූෂිත මාලිමා රජයට විරුද්ධ නගරාධිපතිවරයෙක් පත් කිරීමට.
එතැනදි අපට අදාළ වෙන්නේ නැහැ ඔහු සමගි ජන බලවේගයේද එක්සත් ජාතික පක්ෂයේද ස්වාධීන කණ්ඩායමකද… කොතනද කියන එක නෙවෙයි අපිට වැදගත් වෙන්නේ… අපිට වැදගත් වෙන්නේ ඒ නගරාධිපතිවරයා පවතින දූෂිත මාලිමා ආණ්ඩුවට විරුද්ධද නැත්ද කියන කාරණය විතරයි.
ඒ කියන්නේ සමගි ජන බලවේගයේ කෙනෙක් පත් කරන්න සහය දෙන්නේ නැත්ද?
ඒ පුද්ගලයාට අපි සහය දෙන්නේ ඔහු සමගි ජන බලවේගයේ වීම මත නෙවෙයි. ඒකයි මං කියන කාරණය…
අපි ඒ පුද්ගලයෙක්… අපිට හැමෝටම එකඟ වෙන්න පුද්ගලයෙක්… ඔහු සමගි ජන බලවේගයෙන් වුණත්… එක්සත් ජාතික පක්ෂයෙන් වුණත්… වෙනත් ස්වාධීන කණ්ඩායමකින් වුණත්… මනෝ ගනේෂන් මහතාගේ පක්ෂයෙන් වුණත් ඒක අපිට ප්‍රශ්නයක් නෑ… ”