කොත්මලේ පූඩළුඔය, ඩන්සින්න වත්තේ මැද කොටසේ වතු නිවාස පේලියක අද(25) දින දහවල් හටගත් ගින්නකින් වතු නිවාස 4ක් ගිනිගෙන විනාශ වී ඇති බව පූඩළුඔය පොලිසිය පවසනවා.
පෙරවරු 11ට පමණ එක් නිවසකින් ඇවිලුණු ගින්න සෙසු නිවාසවලට පැතිර ගිය බවත් එම නිවා පේලියේ වතු නිවාස 20ක් පමණ පිහිටි බවයි පොලිසිය පවසන්නේ.
පැතිර යමින් තිබූ ගින්න වතු කම්කරුවන් එක්ව වතු නිවාස පේලියේ සෙවිලි තහඩු සහ වහළ ගලවා පාලනය කර ඇති අතර ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නැහැ.
ගින්නෙන් විනාශ වූ වතු නිවාස හතරෙහි පදිංචිව සිටි කම්කරුවන් 30 දෙනෙකු පමණ තාවකාලිකව එම වතුයායේම ආරක්ෂිත ස්ථානයක නතර කර තිබෙනවා.
ගින්නට හේතුව විදුලි කාන්දුවීමක් බවට සැක කරන බවත් ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බවත් ගින්න පිළිබඳ පරීක්ෂණ පවත්වන පූඩළුඔය පොලිසිය පවසනවා.