කූඨ ලෙස සකස් කළ ස්පාඤ්ඤ වීසා බලපත්‍රයක් භාවිතා කරමින් එරටට පළා යාමට තැත් කළ විදෙස් ජාතිකයෙකු අද(26) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු 27 හැවිරිදි වියේ පසුවන බංගලදේශ ජාතිකයෙකි.
මෙරටට පැමිණ සිටි මෙම බංගලදේශ ජාතිකයා අද(26) දින උදෑසන 10.15 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 665 දරන ගුවන් යානයෙන් දෝහා වෙත පිටත්ව යාම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
එහිදී සිය නිශ්කාශන කටයුතු සදහා අවශ්‍ය ලියකියවිලි , කටාර් ගුවන් සේවා නිලධාරීවරුන් වෙත භාර දී ඇති අතර , ඒවා පිළිබද ඇති වූ සැකය මත මෙම බංගලදේශ ජාතිකයා කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.
එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂා කිරීම්වලදී මෙම ස්පාඤ්ඤ වීසා බලපත්‍රය කූඨ ලෙස සකස් කළ එකක් බව තහවුරු වී තිබෙනවා.
මෙම බංගලදේශ ජාතිකයා මෙම වීසා බලපත්‍රය යුරෝපා රාජ්‍යයන් වෙත නිල වශයෙන් වීසා නිකුත් කරන ආයතනයක් මගින් බංගලදේශ ටකා 25,000 ක් (ශ්‍රී ලංකා රුපියල් 63,000 ක්) මුදලක් ගෙවා ලබා ගෙන ඇති බව මූලික විමර්ශන කටයුතුවලදී අනාවරණය වී තිබෙනවා.
මෙම බංගලදේශ ජාතිකයා මෙම වීසා බලපත්‍රය භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා හරහා ස්පාඤ්ඤය වෙත පළා යාමට සැළසුම් කර තිබෙනවා.
ඉන්පසුව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.













