රුපියල් දෙකෝටි තිස් ලක්ෂයක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ විදේශික ගුවන් මගියෙකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද දින උදෑසන අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු 73 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකි . මොහු ඉන්දියාවේ අලෙවි කළමනාකරුවෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙක් .
මොහු අද දින උදෑසන 11.00 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මල්ලක් තුළ , බොක්සිං ක්‍රීඩකයින් පහරදීම සදහා පුහුණු වීමට ගන්නා රවුම් , දිගැටි හැඩයේ ” පන්ච් බෑගයක් ” තුළ මෙම කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 908 ක ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගය සගවා ගෙන ගෙනැවිත් තිබුණා.
මොහු පිළිබඳ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත බුද්ධි තොරතුරු ලැබී තිබූ අතර , ඒ අනුව මෙම අත් අඩංගුවට ගැනීම සැළසුම් කර තිබුණා
මෙසේ අත් අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා අද දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර , කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ මූලස්ථානයේ රදවා තබා ගෙන ප්‍රශ්න කිරීම සදහා අවසර ලබා ගැනීමට නියමිතයි.