ත්‍රීකුණාමලය බුදු පිළිම සිද්ධියට අදාළව වෙරළ සංරක්ෂන පනත උල්ලංඝනය කිරීම සහ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින භික්ෂුන් වහන්සේ සිව්නම ඇතුළු සැකකරුවන් දස දෙනා එළැඹෙන 28 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් පිරිස අද(19) ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉිදරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
අදාළ නඩුව අද(19) පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන්ට ඇප ලබාදීමට පොලිසිය විරුද්ධවීම නිසා එම නඩුව නැවත අද දහවල් කාලයේදී කැඳවීමටයි අධිකරණය තීරණය කළේ.
සිද්ධියට අදාළව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙන නඩුවකට අදාළ පාර්ශ්වයන් ඉකුත් 14 වනදා කැඳවා තිබූ අතර එහිදී මෙම පිරිස ජනවාරි මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කරනු ලැබුවා.
එහිදී ත්‍රීකුණාමලය කොටුව විහාරයේ විහාරාධිපති පූජ්‍ය බලංගොඩ කස්සප හිමි, සම්බුද්ධ ජයන්ති විහාරාධිපති මිහිඳුපුරේ කල්‍යාණවංශ තිස්ස හිමි, පූජ්‍ය සුකිත්තවංශ හිමි, සිරිමාපුර විහාරයේ පූජය නන්ද හිමි මෙන්ම කොටුව විහාරයේ විධායක කමිටු සාමාජිකයන් වන දීපානි ලියනගේ, විදුරංග ලොකුගලප්පත්ති, එල්.ටී. පෙරේරා, පියලාල් ප්‍රේමසිරි සහ දුලාර ගුණතිලක යන පිරිස මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබෙනවා.













