ලොරි රථයක් සොරකම් කරගෙන පළා යමින් සිටි සැකකරුවෙකු අතින් සිදු වූ අනතුරු දෙකකින් එක් පුද්ගලයෙක් මියගොස් තවත් පුද්ගලයන් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව කඳාන පොලිසිය පවසනවා.
පොලිසිය කියා සිටියේ ඊයේ(15) රාත්‍රී කාලයේ කඳාන, මරියා මාවත ප්‍රදේශයේ නිවසක නවතා තිබූ ලොරි රථයක් සොරකම් කර පළා යමින් සිටි සැකකරුවෙකු අතින් සිදු වූ අනතුරු දෙකකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා රාගම රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි.
ව්‍යාපාරිකයෙකුගේ නිවසක නවතා තිබූ ලොරි රථයක් සොරකම් කරගෙන යමින් සිටි සැකකරුවෙකු පසුපස ලොරි රථයේ හිමිකරු සහ ඔහුගේ සේවකයින් විසින් ලුහුබැඳ තිබෙනවා.
සැකකරු බටගම දෙසට ලොරි රථය නොනවත්වා පලා යමින් සිටියදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක් අනතුරට ලක්කර නොනවත්වා පලා යන අතරතුර ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් යතුරු පැදියකද ගැටී අනතුරුව ලොරි රථය තාප්පයක ගැටී මාර්ගයේ පෙරළී ගොස් තිබෙනවා.
මෙම අනතුර හේතුවෙන් පළමු අනතුරින් එකම පවුලේ සාමාජිකයන් තිදෙනෙක් හා දෙවන අනතුරින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දෙවන අනතුරේ යතුරු පැදිකරු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 43ක් පමණ වූ ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවද පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.
ලොරි රථය සොරකම් කර අනතුර සිදු කළ සැකකරු ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන කඳාන පොලිසිය වෙත භාරදී තිබෙනවා.
සැකකරු මේ වන විට රාගම රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බවත සැකකරු වයස අවුරුදු 46ක් පමණ වන ජාඇළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් පොලිසිය කියා සිටියා.
සිද්ධිය සම්බන්ධයෙන් කඳාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.












