කටුනායක ගුවන් තොටුපොළ සේවකයින් , සිය වැටුප් වැඩි කර ගැනීම ඇතුළු තවත් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් සේවක විරෝධතාවයක් අද උදෑසන 09.30 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ තුළ ආරම්භ කර තිබෙනවා .
මෙම විරෝධතා ව්‍යාපාරයට ගුවන් තොටුපොළ අන්තර් සමාගම් සේවක සංගමය , ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ප්රගතිශීලී සේවක සංගමය , ජාතික සේවක සංගමය සහ සමගි සේවක සංගමය නියෝජනය කරමින් ඒවායේ සාමාජිකයන් 3,000 ක පමණ පිරිසක් එක් වී තිබුණා .
ඔවුන් මුළින්ම කටුනායක ගුවන් තොටුපොළ බුදු මැදුර වෙත මල් පහන් පූජා කර සිය විරෝධතා ව්‍යාපාරය ආරම්භ කර පා ගමනින් විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඉදිරිපිටට පැමිණියා .
ගුවන් තොටුපොළ මෙම සේවකයින්ට අවසාන වශයෙන් වැටුප් වැඩිවීමක් හිමි වී තිබුණේ 2018 වසරේ දී බවත් , සාමාන්‍යයෙන් ගුවන් තොටුපොළ සේවකයින්ට සෑම වසර තුනකට වරක් වැටුප් වැඩිවීමක් සේවා ව්‍යවස්ථාව අනුව හිමි වීමට නියමිත බවත් අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති කේ.ඩී.එස්.ප්‍රියන්ත මහතා පැවසුවා .
සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම මෙම වසරේ සියලු බදු ගෙවූ පසු ලාභය රුපියල් කෝටි 480 ක් උපයා ඇති අතර , මීට අමතරව තවත් රුපියල් කෝටි 100 ක් මහා භාණ්ඩාගාරය වෙත පරිත්‍යාග කිරීමක් ද සිදු කර ඇති බව අනාවරණය කළා .
මීට අමතරව මත්තල ගුවන් තොටුපොළ ණය වාරික ගෙවීම , පළාළි ඇතුළු අනෙකුත් ලාභ නොලබන ගුවන් තොටුපොළ නඩත්තු කිරීම ද මෙම ගුවන් තොටුපොළ මගින් උපයන මුදල් වලින් සිදු කරන බව ද එම මහතා වැඩිදුරටත් කියා සිටියා .
එනිසා සියලුම වැටුප් තල වල ගුවන් තොටුපොළ සේවකයින් වෙත අවම රුපියල් 33,000 ක වැටුප් වැඩි වීමක් ලබා දෙන ලෙස තමන් ඉල්ලීමක් කරන බව ද ඔහු පැවසුවා .
මේ පිළිබඳ ඉල්ලීම රැගත් ගුවන් තොටුපොළ වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් අද පස්වරු 02.30 ට මහා භාණ්ඩාගාරය වෙත ගොස් සාකච්ඡා කිරීමට නියමිතව තිබු අතර ඔවුන් පැමිණ එළඹි තීරණ දැනුම් දෙන තෙක් මෙම විරෝධතාකරුවන් අඛණ්ඩව මෙම විරෝධතාව පවත්වා ගෙන යන බව ද ප්‍රියන්ත මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා .
මෙම සේවක විරෝධතාවය නිසා ගුවන් ගමන් වලට හෝ ගුවන් තොටුපොළ එදිනෙදා සාමාන්‍ය රාජකාරී කටයුතු වලට බාධාවක් හෝ බලපෑමක් සිදු වී නොමැති බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසුවා.