එළවළු තොග මිල ගණන් පහළ ගොස් ඇති බව දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ තොග වෙළදුන් පවසනවා.
ඒ අනුව මාළු මිරිස්, අමු මිරිස්, බෝංචි සහ තක්කාලි මිල පහළ ගොස් ඇති අතර සෙසු එළවළු වර්ගවල මිල ගණන් ද සැලකිය යුතු මුදලකින් පහළ ගොස් තිබෙනවා.
පසුගිය සතියේදී රුපියල් 900 ට අලෙවි වූ මාළු මිරිස් කිලෝවක තොග මිල ඊයේ රුපියල් 450 ක් දක්වා පහළ ගොස් ඇති බවයි වෙළදුන් පැවසුවේ.
එමෙන්ම රුපියල් 1100 ට පසුගිය සතියේදී අලෙවි වූ අමු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 700ක් දක්වා පහළ ගිය අතර බෝංචි කිලෝවක් රුපියල් 300 දක්වාත් තක්කාලි කිලෝවක් රුපියල් 180ක් දක්වාත් පහළ ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් තොග මිලට සාපේක්ෂව සිල්ලර වෙළෙඳපොළේ මිල ගණන් සියයට 30 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සදහන් කළේ.