මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමෙහි දක්වා ඇති උද්ධමන ඉලක්කයෙන් මතුපිට උද්ධමනය අපගමනය වීම පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 26 (1) වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර 2023-10-03 දින අත්සන් තබන ලද මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමට අනුව, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කරනු ලබන කොළඹ පාරිභෝගික මිල දර්ශකය මඟින් මනිනු ලබන කාර්තුමය මතුපිට උද්ධමනය 5%ක මට්ටමක පවත්වාගෙන යාමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැවරී ඇති බව සඳහන්.
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 26 (5) වගන්තියට අනුව, එම උද්ධමන ඉලක්ක නිශ්චිත ආන්තිකයෙන් අනුක්‍රමික කාර්තු 02ක් තුළ දී සපුරා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපොහොසත් වුවහොත්, මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් ඒ පිළිබඳ වාර්තාවක් මුදල් විෂයභාර අමාත්‍යවරයා මඟින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි.
එසේම, එම වාර්තාව මහජනතාවට ද ලබා ගත හැකි විය යුතුය. 2025 වසරේ දෙවන සහ තුන්වන කාර්තුවලදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනයේ කාර්තුමය සාමාන්‍යය පිළිවෙලින් (-1.1) %ක් සහ 0.8 %ක් ලෙස වාර්තා වී ඇති අතර, එය අනුක්‍රමික කාර්තු දෙකක් සඳහා උද්ධමන ඉලක්කයට ප්‍රතිශතාංක 2කට වඩා පහළින් පවතී.
ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 26 (5) වගන්තිය යටතේ මුදල් විෂයභාර අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති මතුපිට උද්ධමනය අපගමනය වීම පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බව සඳහන්.










