කුරුණෑගල තෝරයාය ප්‍රදේශයේදී සිව්දෙනෙකුට මරු කැඳවූ අනතුරට හේතු වූ බස් රථය පැයට කිලෝමීටර 90ක පමණ වේගයෙන් ධාවනය කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පැවසුවේ, අදාළ බස් රථය කදුරුවෙල සිට තෝරයායට පැමිණ ඇත්තේ පැය 2කටත් අඩු කාලසීමාවකදී බවයි.
අනතුරින් තුවාල ලැබූවන්ගෙන් බරපතළ තත්ත්වයේ පසුවන පස් දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබන්නේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේයි.
කුරුණෑගල තෝරයාය ප්‍රදේශයේ බස් නැවතුමක නවතා තිබූ පෞද්ගලික බස් රථයක තවත් පෞද්ගලික බස් රථයක් ගැටී අනතුරක් සිදුවූයේ ඊයේ පෙරවරුවේයි.
මෙම සිද්ධියෙන් අනතුර සිදුකළ බස් රථයේ කොන්දොස්තර ද ඇතුළු සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 28 දෙනෙකු තුවාල ලැබුවා.
අනතුර සිදුකළ බස් රථයේ රියදුරු ද තුවාල ලැබූ අතර ඔහු ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
මගීන් චෝදනා කළේ බස් රථ දෙක තරගයට අධික වේගයෙන් ධාවනය කිරීම හේතුවෙන් අනතුර සිදු වූ බවටයි.