වතුකරයේ ජනතාවට ඉඩම් සහ නිවාස අයිතිය ලබාදෙන ලෙස රජයට බලකරමින් ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සාමාජිකයන් හැටන් නගරයේ අත්පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනක් දියත් කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෙරෙහි විශ්වාසයක් ඇතැයි එම පෙරමුණේ තරුණ කණ්ඩායමේ නායකයා පවසනවා.
වතුකරයේ ජනතාවට ඉඩම් සහ නිවාස අයිතිය ලබාදෙන ලෙස බලකරමින් ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ විසින් හැටන් නගරයේදී අද(15) අත්පත්‍රිකා බෙදාදෙමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කරනු ලැබුවා.
මේ රටේ ජීවත් වන හින්දු සම්භවයක් ඇති ලක්ෂ15ක් පමණ වන ජනතාවට කිසිදු ඉඩමක හෝ නිවසක හිමිකමක් මෙතෙක් ලබා නොමැති බවත්, තිබූ ඉඩම් අයිතිය 1948 වසරේදී එවකට රට පාලනය කළ පාලකයින් විසින් අහිමි කළ බවයි එම පක්ෂයේ මහලේකම් ජීවන් රාජේන්ද්‍රන් මහතා කියා සිටින්නේ.
රටේ අනෙක් පුරවැසියන් මෙන්ම සියලුම වරප්‍රසාද සහ හිමිකම් වතුකරයේ හින්දු සම්භවයක් ඇති ජනතාවටද ලැබිය යුතු බවයි ජීවන් රාජේන්ද්‍රන් මහතා පවසන්නේ.
ඉඩම් සහ නිවාස අයිතිය ඉල්ලා අත්පත්‍රිකා බෙදාදීමේ අවස්ථාවට එක්වූ එම පක්ෂයේ තරුණ කණ්ඩායම් නායක සරත් කුමාර මහතා කියා සිටියේ වතුකරය නියෝජනය කළ දේශපාලකයන් වතුකරයේ ජනතාව මුලා කරමින් දේශපාලන කටයුතුවල නියැලී සිටින බවයි.
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඔහුගේ රජයක් යටතේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 400කින් වැඩි කිරීමට කටයුතු කලාසේම වතුකරයේ ජනතාවගේ ඉඩම් සහ නිවාස අයිතිය ලබාදීමට කටයුතු කළ යුතු බවත් එය ජනාධිපතිවරයා විසින් සිදු කරන බවට තම පෙරමුණ සහ වතුකරයේ ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැගී ඇති බවත් සරත් කුමාර මහතා පවසනවා.













