මහනුවර සිට බදුල්ල දක්වා දිනපතා ධාවනය වන ඕඩිසි දුම්රියට සංචාරක සමාගම් විසින් සංචාරයට එක්වන විදේශිකයාගේ ගුවන් ගමන් බලපත්‍රයේ අංකය සඳහන් නොකර මාර්ගගත ක්‍රමයට ලබාගත් දුම්රිය ප්‍රවේශපත්‍රවලට විදේශීය සංචාරකයන් රැගෙන නොයෑමෙන් එම විදේශිකයන් දැඩි ලෙස පීඩාවට පත්ව ති බෙනවා.
මහනුවර සිට නානුඔය දක්වා අද(11) දින ධාවනය වූ ඕඩිසි දුම්රියෙන් නානුඔය සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා රුපියල් 6000කට සහ ඊට වැඩි මුදලකට එම දුම්රියෙන් ගමන් කිරීමට ප්‍රවේශපත්‍ර ලබාගත් ඉතාලි, ප්‍රංශ, ජර්මන් සහ ඉන්දියානු ජාතිකයන් විශාල පිරිසක් එම දුම්රියේ දුම්රිය නියාමකවරුන් විසින් දුම්රිය මැදිරිවලට ඇතුළු කර නොගැනීම හේතුවෙන් එම විදේශීකයන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටි බවයි වාර්තා වන්නේ.
ඇතැම් සංචාරක සමාගම් මග පෙන්වන්නන් සහ ඇතැම් තැරැව්කරුවන් විසින් ශ්‍රී ලාංකික හැඳුනුම්පතක අංකයක් යෙදාගෙන මාර්ගගත ක්‍රමයට ඔවුන්ගේ නම ඇතුළත් කර ඔඩිසි දුම්රියෙන් ගමන් කිරීමට දුම්රිය ප්‍රවේශපත්‍ර මිලදී ගෙන වැඩි මුදලකට අලෙවි කිරීමේ ජාවාරම නතර කිරීම සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරි වානිජ ඩබ්ලිව්.ඩී. රංජිත් පද්මලාල් මහතා විසින් ජුලි මස 30 වන දින චක්‍රලේඛණයක්ද උපදෙස් මාලාවක්ද නිකුත් කර තිබෙනවා.
එම උපදෙස් මාලාවට ප්‍රථම එම දුම්රියෙන් ගමන් කිරීමට වැඩි මුදලක් ලබාදී දුම්රිය ප්‍රවේශපත්‍ර මිලදී ගෙන ඇති අතර එම ප්‍රවේශපත්‍ර අතැතිව මේ දිනවල එම දුම්රියෙන් ගමන් ගන්නා විදේශීය සංචාරකයින්ගේ ප්‍රවේශපත්‍රය සහ විදේශිකයාගේ ගුවන් ගමන් බලපත්‍ර අංකය දුම්රිය නියාමකවරු විසින් පරීක්‍ෂා කිරීම හමුවේ මෙම ගැටලුව මතුව ඇති බවයි සංචාරක මග පෙන්වන්නන්ද කියා සිටිනේනේ.
ඕඩිසි දුම්රියෙන් ගමන් කිරීමට නොහැකි වූ විදේශීය සංචාරකයින් නානුඔය දුම්රිය ස්ථානයෙන් රුපියල් 300ක මුදලකට සාමාන්‍ය දුම්රිය ප්‍රවේශපත්‍රයක් මිලදී ගෙන ඇල්ල දක්වා උඩරට මැණිකේ දුම්රියෙන් සිය ගමනාන්තය දක්වා ගොස් තිබෙනවා.
අප මේ සම්බන්ධයෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථානාධිපතිවරුන් කිහිප දෙනෙකුගෙන්ම කළ විමසුමකට ඔවුන් කියා සිටියේ දුම්රිය ආසන වෙන් කරගැනීමේදී හැඳුනුම්පත් අංකයක් හෝ ගුවන් ගමන් බලපත්‍රයක අංකයක් අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුව ඇති බවයි.
ඒ අනුව නිකුත් කරනු ලබන දුම්රිය ප්‍රවේශ පත්‍රයේ ගමන් ගන්නේ එම මගියාමද යන්න පිළිබඳ දුම්රිය නියාමකවරුන් පරීක්‍ෂා කිරීම හමුවේ මෙම ගැටලුව මතුව තිබෙනවා.
දුම්රිය සාමාන්‍යාධිකාරි වානිජ විසින් නිකුත් කරනු ලැබූ උපදෙස් මාලාවට අනුව දුම්රිය නියාමකවරුන් කටයුතු කරන බවද දුම්රිය ස්ථානාධිපතිවරුන් තවදුරටත් පැවසුවා.
ඕඩිසි දුම්රියේ නියාමකවරුන් විසින් ඇතැම් සංචාරකයින් දුම්රිය මැදිරිවලට ඇතුළත් කර නොගැවීම හමුවේ නානුඔය දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දක්වා ධාවනය වූ එම දුම්රිය මැදිරිවල ආසන හිස්ව තිබෙන අයුරු විදේශිකයන් දැක කනස්සල්ල පළ කර තිබෙනවා.
නානුඔය දුම්රිය ස්ථානයේදී ඕඩිසි දුම්රියට ඇතැම් විදේශ සංචාරකයන් ඇතුළත් කර නොගැවීම හමුවේ නානුඔය දුම්රිය ස්ථානයේ දැඩි නොසන්සුන්තාවයක් ඇතිවීම නිසා නානුඔය පොලිසියේ නිලධාරීන් නානුඔය දුම්රිය ස්ථානය වෙත කැඳවීමටද දුම්රිය ස්ථානයේ නිලධාරීන් පියවර ගත්තා.