අද මධ්‍යම රාත්‍රියේ උදාවන අසිරිමත් නත්තල පිළිගැනීමට ලොව පුරා සියලු කිතුණු බැතිමතුන් මේ වන විට සූදානමින් පසුවනවා.
ජේසුස් වහන්සේගේ උත්පත්තිය සිහි කරමින් සියලු කතෝලික දේවස්ථාන ආශ්‍රිතව දේව මෙහෙයන් සංවිධාන කර ඇති අතර කැරොල් ගී සංදර්ශන , නත්තල් සාද මෙන්ම ,තවත් පුණ්‍යක්‍රියා රැසක්ද ඒ අනුව සිදු කිරීමට නියමිතයි.
වී එෆ් එම් රේඩියෝවද අසිරිමත් නත්තල සැමරීම සඳහා විශේෂ වැඩසටහන් රැසක් සුදානම් කර තිබෙනවා.
ඒ අනුව රත්නපුර ශුද්ධවූ පේදුරු පාවුළු මුණිවරුන්ගේ ආසන දෙව් මැදුරේ සිට ක්‍රිස්තෝත්පත්ති මංගල්‍ය ,නත්තල් මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජා යාගය අද රාත්‍රී 11.30 සිට සජීවීව විකාශය කරනු ලබනවා.
මෙම දේව මෙහෙය රත්නපුර පදවි රදගුරු අති උතුම් ක්ලීටස් චන්ද්‍රසිරි හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
වී එෆ් එම් යූ ටියුබ් නාලිකාවෙන් සහ ෆෙස්බුක් පිටුවෙන් මෙම විශේෂිත දේව මෙහෙය නැරැඹීමට ද ඔබට අවස්ථාව උදාවනවා.
මේ අතර මෙවර නත්තල් උත්සවය වෙනුවෙන් පැවැත්වෙන ප්‍රධාන දේවමෙහෙය කටාන – හල්පේ ශූද්ධ වූ ප්‍රැස්සිස් සේවී මුනිදුන්ගේ දේවස්ථානයේ දී පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රීයේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මෙම දේවමෙහෙය පැවැත්වෙනු ඇති.
මේ අතර නත්තල් සමයේ දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් සැපයීම සඳහා කටයුතු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කලේ.
එලෙස ලබාදී ඇති ආරක්ෂාව ප්‍රමාණවත් නොමැතිනම් ඒ සඳහා දැනුම්දීමට පොලිස් මූලස්ථානයෙන් විශේෂ අංකයක් ද හඳුන්වාදී තිබෙනවා.













