අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් දැමීම අපේ ඉල්ලීම නෙවෙයි – ගුණාත්මක අධ්‍යාපනයක් දෙන එකයි විපක්ෂයේ ඉල්ලීම.
අග්‍රාමාත්‍යවරියට එරෙහිව විපක්ෂය විසින් ගෙන ඒමට සැලසුම් කළ විශ්වාසභංග යෝජනාව කිසිසේත් හකුලාගෙන හෝ යටපත් කර නොමැති බවත්, ආණ්ඩුවේ වැරදි පිළිගන්නා තෙක් එය ඉදිරියටම ගෙන යන බවත් සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා අවධාරණය කරනවා.
ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (24) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මෙම විශ්වාසභංගය ගෙන ඒමට හේතු වූ කරුණු ආණ්ඩුව මේ වන විටත් වක්‍රව පිළිගෙන ඇති බවයි.
ඒ අනුව වසර ගණනාවක් තිස්සේ සාකච්ඡා වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වසරකින් කල්දැමීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ විපක්ෂයේ චෝදනා හමුවේ බව ඔහු සඳහන් කළා.
කෙසේ වෙතත්, ප්‍රතිසංස්කරණ කල්දැමීම විපක්ෂයේ ඉල්ලීම නොවන බවත්, එය රජයේ නොහැකියාව පෙන්නුම් කරන තීරණයක් බවත් මන්ත්‍රීවරයා කියා සිටියා.
විපක්ෂය ලෙස තමන් දිගින් දිගටම ඉල්ලා සිටියේ දරුවන්ගේ පෙළපොත්වලට ඇතුළත් කර ඇති අසභ්‍ය සහ අනුචිත කරුණු වහාම ඉවත් කර, රටේ දරුවන්ට ගැලපෙන ගුණාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදු කරන ලෙසයි.
එහෙත් එම වැරදි නිවැරදි කරනු වෙනුවට සමස්ත ක්‍රියාවලියම කල් දැමීම හරහා ආණ්ඩුව කරන්නේ ජනතාව මුලාවට පත් කිරීමක් බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නා.
එමෙන්ම අධ්‍යාපන අමාත්‍යවරියට එරෙහිව ඉදිරිපත් වන මෙම විශ්වාසභංග යෝජනාව, “කාන්තාවකට එල්ල වන ප්‍රහාරයක්” ලෙස හුවා දක්වමින් විෂය පථය වෙනතකට හැරවීමට ආණ්ඩුවේ ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටින බවටද මන්ත්‍රීවරයා චෝදනා කළා.
එය දේශපාලනික වශයෙන් ඉතා පහත් මට්ටමේ උපක්‍රමයක් බවත්, ගැටලුව ඇත්තේ ඇයගේ ක්‍රියාකලාපය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පිරිහීම සම්බන්ධයෙන් මිස ස්ත්‍රී පුරුෂ භාවය මත නොවන බවත් ඔහු පැහැදිලි කර සිටියා.
මීට අමතරව, වත්මන් නීතිපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් සමාජයේ විවිධ පාර්ශවයන්ගෙන් එල්ල වන දැඩි විරෝධතාවල සාධාරණත්වය පිළිබඳව ද රෝහණ බණ්ඩාර මහතා සිය අදහස් පළ කළා.
එමෙන්ම, අමාත්‍ය ලාල්කාන්ත මහතා විසින් පසුගියදා සිදුකළ ”ප්‍රතිප්‍රහාර එල්ල කිරීම” සම්බන්ධ ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදී රටකට නොගැලපෙන, භීෂණය වපුරන ආකාරයේ ප්‍රකාශයක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.













