කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශය තුළ අයහපත් කාලගුණය නිසා අවතැන් වූ ජනතාවට සහ නිවාස අහිමිවූවන්ට රජය මගින් ලබාදෙන සහන සහ රුපියල් 25000ක් ඇතුළු මුදල් මෙතෙක් නොලැබීම සම්බන්ධයෙන් ගම්වාසීන් සමග කරගස්තලාව සුගතාරාම විහාරාධිපති කළුගල කාශ්‍යප හිමි ඇතුළු සංඝරත්නය ප්‍රාදේශීය ලේකම්වරයා හමුවීමට අද(29) දින එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණි අවස්ථාවේදී ගම්වාසීන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
ජනාධිපතිවරයා විසින් චක්‍රලේඛ මගින් ආපදාවට පත් ජනතාවට සහන සලසා දෙන ලෙස ප්‍රකාශ කර සිටියත් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ග්‍රාම නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන්ගේ ක්‍රියා කලාපය ඉතාමත් මන්දගාමී තත්ත්වයක පසුවන බවත් ඒ නිසාවෙන් තමන්ට නිවාස පිරිසිදු කරගැනීමට රජයෙන් ගෙවනු ලබන රුපියල් 25000 දීමනාව හෝ නිසියාකාරව සියලු දෙනාට ගෙවා නොමැති බවයි කරගස්තලාව සුගතාරාම විහාරාධිපති කළුගල කාශ්‍යප හිමියන් කියා සිටියේ.
නායයාමේ අවදානමට ලක්ව සිටින කොත්මලේ නැගෙනහිර කලාප භාර ග්‍රාම සේවා නිලධාරීවරුන් මාසයකට අධික කාලයක් එම වසම්වලට ගොස් නොමැති බවත්, එහි අවතැන්වූවන් වෙනුවෙන් තම විහාරස්ථානයේ තවදුරටත් කඳවුරක් පවත්වාගෙන යන බවයි කරගස්තලාව සුගතාරාම විහාරාධිපති කළුගල කාශ්‍යප හිමියන් කියා සිටියේ.
ප්‍රාදේශීය ලේකම්වරයා අද(29) දින කාර්යාලයේ නොසිටි බැවින් එහි සහකාර ප්‍රාදේශීය ලේකම් තිවංක දසනායක මහතා සහ සාකච්ඡාවෙන් අනතුරුව ඔහු ප්‍රකාශ කර සිටියේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් අතින් නොදැනුවත්ව හෝ වරදක් වී ඇත්නම් ඉතා ඉක්මණින්ම ඒ සම්බන්ධයෙන් සොයා බලා නිවැරදි කිරීමට කටයුතු කරන බවයි.













